ස්ලටන් නැවතත් ස්වීඩන් සංචිතයට

314

ස්වීඩන් පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වන Zlatan Ibrahimovic (ස්ලටන් ඉබ්‍රහිමෝවිච්) එළඹෙන යුරෝ කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා යළි කණ්ඩායම සමඟින් එක්වන බව වාර්තා වනවා.

දිගු කලක් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ 41 හැවිරිදි ස්ලටන් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී ස්වීඩන් සංචිතයේ සිටියේ නැහැ. ඊට හේතු වුනේ දිගුකාලීන දණහිස් ආබාධයක්. AC මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු පසුගිය දා යුඩිනීස් කණ්ඩායමට එරෙහිව දඬුවම් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කරමින් Serie A තරගාවලියේ වයස්ගතම ගෝල ලාභියා බවට පත්වුනා.

වදන් හරඹ වලට සමතෙකු වන ස්ලටන් මින් පෙර පවසා තිබුණේ ස්වීඩනයේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් තමන් බවයි. එහෙත් දැන් ඔහු පවසන්නේ මෙවැන්නක්.

මම හොඳයි නම්, පුහුණුකරු මාව තෝරාගත්තොත්, මම ඔහුට, මගේ රටට, මගේ හොඳම දේ කරලා උදව් කරනවා. මම හිතන්නේ මගේ වයසේ දී අනාගතය ගැන හිතන්න බෑ. හිතන්නේ වර්තමානය ගැන. අතීතය, වර්තමානය, අනාගතය මම වුනත්,” ඔහු පැවසුවා.

ස්වීඩනය සහභාගී වන පළමු සුදුසුකම් ලැබීමේ තරගය එළඹෙන සිකුරාදා (24) බෙල්ජියමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<