2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ අද (31) පැවති පළමු තරග වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තත්පර 10.32ක දක්ෂතාවයක් දක්වමින් 6 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. 

>> යුපුන්ගේ තරග වටයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු වටයේ තුන්වැනි තරගය (Heat 3) වූ එම තරගයේ පළමු ස්ථානය ඉතාලියේ Lamont Marcell Jacobs විසින් හිමි කරගත්තා. Jacobsගේ දක්ෂතාවය තත්පර 9.94ක් වූ අතර තත්පර 10.04කින් ඉසව්ව නිමා කළ ජැමෙයිකාවේ Oblique Seville හට දෙවැනි ස්ථානය හිමි වුනා. තෙවැනි ස්ථානය හිමි වූ දකුණු අප්‍රිකාවේ Shaun Maswanganyi දක්ෂතාවය ලෙස දැක්වුණේ තත්පර 10.12ක් ලෙසයි. 

මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මූලික තරග වටය සඳහා රටවල් 61ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 84 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. පළමු වටයේ තරගවලින් පළමු ස්ථාන තුන හිමිකර ගන්නා ක්‍රීඩකයින් පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිත බැවින් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් හට මෙවර ඔලිම්පික් උළෙලෙන් ඉවත් වීමට සිදුවනවා. 

1996 වසරෙන් පසුව ඔලිම්පික් උළෙලක පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා වන්නේ ද යුපුන් අබේකෝන්. පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට මෙන්ම ජාතික වාර්තාවට හිමිකම් කියන යුපුන්ගේ වාර්තාගත කාලය තත්පර 10.15ක්. ඔහු සමඟ හිමාෂ ඒෂාන්, චානුක සංදීප සහ විනොජ් සුරංජය පිරිමි 4×100 සහාය දිවීමේ ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට (තත්පර 39.14) ද හිමිකම් කීම විශේෂත්වයක්. 

මෙවර තම පළමු ඔලිම්පික් උළෙලට සහභාගී වූ යුපුන්ගේ පදක්කම් සිහිනය බිඳ වැටුණ ද, ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය සාර්ථක කර ගනිමින් මව්බිමට ගෞරවයක් ගෙන ඒමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා’යි ThePapare.com අප සුබ පතන්නෙමු. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<