ප්‍රබලයින් කිහිප දෙනෙකුට පදක්කම් අහිමි වූ පස්වැනි දිනය

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

416
olympic.com

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පස්වැනි දිනය වූ අද (28) ෆීජී කණ්ඩායම සිය දෙවැනි රග්බි රන් පදක්කමට හිමිකම් කියද්දී, තවත් ඔලිම්පික් වාර්තා කීපයක් බිඳ වැටුණා. මේ අද ඔලිම්පික් පිටියේ සිදු වූ විශේෂ සිදුවීම් කීපයක්.

පිහිනුම් (Swimming)

පිහිනුම් ක්‍රීඩාවේ තවත් සුවිශේෂී තරග ඉසව් 5ක් අද පැවැත්වුනා. ඉන් පළමුවෙන් පැවති තරගය වුනේ කාන්තා මීටර් 200 නිදහස් ආර තරග ඉසව්වයි. 

මෙහි දී ඕස්ට්‍රේලියාව රන් පදක්කම වෙත රැගෙන යාමට Ariarne Titmus සමත් වුනා. ඒ 1.53.50ක කාලයක් වාර්තා කරමින්. එය නව ඔලිම්පික් වාර්තාවක් ලෙස ද සටහන් වුනා. එම ඉසව්වේ රිදී පදක්කම හොංකොං නියෝජනය කළ Siobhan Bernadette හට හිමි වූ අතර ලෝකඩ පදක්කම දිනා ගැනීමට කැනඩාවේ Penny Oleksiakට හැකි වුනා. 

ඉන් අනතුරුව පැවති පිරිමි මීටර් 200 සමනළ ආර ඉසව්වේ දී රන් පදක්කම ජයග්‍රහණය කිරීමට එම ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන Kristof Milak සමත් වුනේ හංගේරියාවට දෙවැනි රන් පදක්කමත් හිමිකර දෙමින්. ඔහු මෙහි දී වාර්තා කළ කාලය නව ඔලිම්පික් වාර්තාවක් ලෙස ද සටහන් වුනා. එහි රිදී පදක්කමට හිමිකම් කීමට ජපානයේ Tomoru Honda සමත් වූ අතර ඉතාලියේ Federico Burdisso ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සමත් වුනා. 

කාන්තා මීටර් 200 මිශ්‍ර ආර තරග ඉසව්ව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබූ අතර එයට හේතුව වුනේ එම ඉසව්වේ ඔලිම්පික් සහ ලෝක වාර්තාවට හිමිකම් කියන හංගේරියාවේ Katinka Hosszu ද එයට සහභාගී වීමයි. 

කෙසේ වෙතත් මෙම ඉසව්වේ රන් පදක්කම 2.08.52ක කාලයක් වාර්තා කළ ජපානයේ Yui Ohashi හට හිමි වූ අතර රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇමරිකානු ක්‍රීඩිකාවන් වන Alex Walsh සහ Kate Douglass සමත් වුනා. Katinka Hosszu හට මෙහි දී හිමිවුනේ හත්වැනි ස්ථානය වීම විශේෂත්වයක්.

Kathleen Ledecky (ඡායාරූපය olympics.com)

ඉන් අනතුරුව පැවති කාන්තා මීටර් 1500 නිදහස් ආර ඉසව්වේ දී ද පදක්කම් දෙකක් තම පදක්කම් සටහනට එක්කර ගැනීමට ඇමරිකානු ක්‍රීඩිකාවන් සමත් වුනා. මෙම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව තමන් සතුකර ගැනීමට පසුගිය දා පැවති මූලික වටයේ දී Kathleen Ledecky සමත් වූ අතර මෙම ඉසව්වේ රන් පදක්කම හිමි වූයේ ද ඇයටයි. ඇමරිකානු ක්‍රීඩිකාවක් වන Erica Sullivan එහි රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර ජර්මනියේ Sarah Kohler ලෝකඩ පදක්කම දිනා ගත්තා.

අද දිනයේ පිහිනුම් අවසන් ඉසව්ව වූ පිරිමි මීටර් 4×200 සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම මහා බ්‍රිතාන්‍යය සතු වූ අතර රිදී පදක්කම රුසියානු කණ්ඩායම දිනා ගැනීමට සමත් වුනා. ලෝකඩ පදක්කම හිමිවුනේ ඕස්ට්‍රේලියාවටයි. මෙම ඉසව්වේ ඔලිම්පික් සහ ලෝක වාර්තාවලට හිමිකම් කියන ඇමරිකාව මෙම ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත්වීම විශේෂත්වයක්. 

කිමිදුම් (Diving)

අද දිනයේ පැවති එකම කිමිදුම් තරග ඉසව්ව වූයේ පිරිමි මීටර් 3 Synchronized Springboard තරග ඉසව්වයි. මෙහි දී චීනය නියෝජනය කළ Zongyuan Wang සහ Siyi Xie රන් පදක්කම දිනා ගත් අතර රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පිළිවෙළින් ඇමරිකාවට සහ ජර්මනියට හිමි වුනා.

ජූඩෝ (Judo) 

ජූඩෝ ඉසව්වේ බර පන්ති දෙකක අවසන් තරග අද පැවැත්වුනා. එහි දී කාන්තා කිලෝග්‍රෑම් 70 බර පන්තියේ රන් පදක්කම ජපානයේ Chizuru Arai හට හිමිවුනා. එහි රිදී පදක්කම ඔස්ට්‍රියාවේ Michaela Polleres හට හි මිවූ අතර ලෝකඩ පදක්කම නෙදර්ලන්තයේ Sanne van Dijke සහ රුසියාවේ Madina Taimazova හට හිමි වුනා. 

මීට අමතරව පිරිමි කිලෝග්‍රෑම් 90 බර පන්තියේ අවසන් තරග ද අද පැවති අතර එහි දී රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ජෝර්ජියාවේ Lasha Bekauri සමත් වුනා. රිදී පදක්කම ජර්මනියේ Eduard Trippel ට හිමි වූ අතර ලෝකඩ පදක්කමට හිමිකම් කීමට උස්බෙකිස්තානයේ Davlat Bobonov සහ හංගේරියාවේ Krisztian Toth සමත් වුනා.

සත් සාමාජික රග්බි (Rugby 7s)

අද දිනයේ පැවති තරග ඉසව් අතරින් වඩාත් කතාබහට ලක්වූ තරග ඉසව්වක් වුනේ රග්බි තරග ඉසව්වයි. මෙහි දී මූලික වටයේ තරග කීපයක් පැවති අතර ඉන් ජයග්‍රහණ වාර්තා කළ ජපානය, කෙන්යාව, ඇමරිකාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ෆීජි කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

එහි දී කැනඩාව සහ ඕස්ට්‍රේලියාව හත්වැනි ස්ථානය සඳහා තරග වැදුණු අතර එහි ජයග්‍රහණය වාර්තා කළ ඕස්ට්‍රේලියාව හත්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. පස්වැනි ස්ථානය සඳහා පැවති තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ඇමරිකානු කණ්ඩායම පරාජයට පත්කළා. 

ඉන් අනතුරුව පැවති ලෝකඩ පදක්කම සඳහා වූ තරගය සඳහා ආජන්ටිනාව සහ මහා බ්‍රිතාන්‍යය තරග වැදුණා. එහි දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 17-12ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ආජන්ටිනාව සමත් වුනා. 

රග්බි තරග ඉසව්වේ අවසන් තරගය සඳහා නවසීලන්තය සහ ෆීජි කණ්ඩායම තරග වැදුණු අතර ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව නවසීලන්තය ලකුණු 27-12ක් ලෙස පරාජය කරමින් තම දෙවැනි ඔලිම්පික් රන් පදක්කමේ පහස විඳ ගැනීමට ෆීජි කණ්ඩායම සමත් වුනා.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සත් සාමාජික රග්බි රන් පදක්කම දිනා ගත් ෆීජී කණ්ඩායම (ඡායාරූපය olympics.com)

Gymnastic

අද දිනයේ දී තවත් Artistic Gymnastic අවසන් තරගයක් පැවැත්වුනා. ඒ පිරිමි All-Round ඉසව්වයි. මෙහි දී රන් පදක්කම දිනා ගැනීමට ජපානයේ Daiki Hashimoto සමත් වූ අතර රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පිළිවෙළින් චීනයේ Ruoteng Xiao සහ රුසියාවේ Nikita Nagornyy විසින් දිනා ගැනීමට සමත් වුනා. 

බර එසවීම (Weightlifting)

පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තියේ අවසන් තරගය අද පැවති අතර චීනයේ Zhiyong Shi එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. වෙනිසියුලාවේ Julio Ruben සහ ඉන්දුනීසියාවේ Rahmat Erwin රිදී සහ ලෝකඩ පදක්කම් සඳහා හිමිකම් කීමට සමත් වුනා.

පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තියේ පදක්කම් ලාභීන් (ඡායාරූපය olympics.com)

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

  • 3×3 පැසිපන්දු (Basketball)

පිරිමි

  1. රන් පදක්කම – ලැට්වියාව
  2. රිදී පදක්කම – රුසියාව 
  3. ලෝකඩ පදක්කම – සර්බියාව

කාන්තා 

  1. රන් පදක්කම – ඇමරිකාව
  2. රිදී පදක්කම – රුසියාව 
  3. ලෝකඩ පදක්කම – චීනය
  • පාපැදි (Cycling)

කාන්තා 

  1. රන් පදක්කම – Annemiek van Vleuten (නෙදර්ලන්තය)
  2. රිදී පදක්කම – Marlen Reusser (ස්විස්ටර්ලන්තය)
  3. ලෝකඩ පදක්කම – Anna van der Breggen (නෙදර්ලන්තය)

පිරිමි

  1. රන් පදක්කම – Primoz Roglic (ස්ලෝවැකියාව)
  2. රිදී පදක්කම – Tom Dumoulin (නෙදර්ලන්තය)
  3. ලෝකඩ පදක්කම – Rohan Dennis (ඕස්ට්‍රේලියාව)
  • Equestrian 

Dressage Individual Gran Prix Freestyle 

  1. රන් පදක්කම – Jessica Von (ජර්මනිය)
  2. රිදී පදක්කම – Isabell Werth (ජර්මනිය)
  3. ලෝකඩ පදක්කම – Charlotte Dujardin (මහා බ්‍රිතාන්‍යය)
  • කඩු සටන් (Fencing)

පිරිමි Sabre කණ්ඩායම්

  1. රන් පදක්කම – කොරියාව 
  2. රිදී පදක්කම – ඉතාලිය
  3. ලෝකඩ පදක්කම – හංගේරියාව

තරගාවලියේ පස්වැනි දිනය අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත්ව සිටින අතර ඔවුන් රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගැනීමට සමත්ව සිටිනවා. 

මෙහි දෙවැනි සහ තෙවැනි ස්ථාන චීනයට සහ ඇමරිකාවට හිමිව ඇති අතර ඔලිම්පික් ධජය යටතේ ක්‍රීඩා කරන රුසියාව එහි සිව්වැනි ස්ථානයට පත්ව සිටිනවා. 

හෙට (29) තරගාවලියේ හයවැනි දිනයයි. හෙට දිනයේ දී ද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම්  සඳහා වන අවසන් තරග කීපයක් පැවැත්වීමට නියමිතයි.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම.

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<