ශ්‍රී ලංකාවේ නිල ඇඳුමට මොකද වුනේ? ඔලිම්පික් කමිටුවෙන් පිළිතුරු

554

2020 ඔලිම්පික් තරගාවලිය තුල මෙරට ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සහ පසුගිය දින කීපය තුල පළ වූ මාධ්‍ය වාර්තා කීපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, මාධ්‍ය සම්බන්ධීකාරක චන්දන ලියනගේ මහතා සහ මෙහෙයුම් ප්‍රධානී ගාමිණී ජයසිංහ මහතා සහභාගී වුනා.

මෙහි දී මාධ්‍යවේදීන් විසින් ඔලිම්පික් තරගාවලිය තුල මේ දක්වා පැවති තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පිළිබඳව විමසා සිටියා.

“ගොඩක් දෙනාට යම් ගැටලුවක් තිබුණා අපේ ක්‍රීඩකයන් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේ නැති වෙන්න හේතුව මොකක්ද කියලා. මේ ගැන කියන්න ඕනේ අපේ කණ්ඩායමට ක්‍රීඩකයන් 9 දෙනෙක් සහභාගී වුනා. ඒ අතරින් තුන් දෙනෙක් තමයි සෘජුවම සුදුසුකම් ලබා ගත්තේ. ඉතුරු 6 දෙනා අපි සුදුසුකම් ලැබීමේ වටයෙන් පස්සේ තමයි සහභාගී වුනේ. මේ තරගාවලියට ලෝකයේම ක්‍රීඩකයන් 10,500ක් වගේ සහභාගී වෙනවා. අපේ ක්‍රීඩකයන් 9 දෙනෙක් සහභාගී වෙනවා. අපි හිතන්නේ ඒකම ලොකු ජයග්‍රහණයක්” මැක්ස්වෙල් මහතා සඳහන් කළා.

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන්ගේ නිල ඇඳුම් පිළිබඳව පසුගිය දින කීපය තුල දැඩි කතාබහට ලක්වුනා. ක්‍රීඩකයන් ක්‍රීඩා කළ නිල ඇඳුම්වල ශ්‍රී ලංකා ධජය නොතිබීම එයට හේතුව වී තිබුණා.

අපි මේ තරගාවලිය සඳහා සහභාගී වෙන්න ආයතන කීපයක් එක්ක ගිවිසුම් අත්සන් කරලා ක්‍රීඩකයන්ට ඇඳුම් ලබා දුන්නා. අපි මේ ඇඳන් ඉන්නේ ඒවා. සමාරම්භක උළෙලට සහ අනෙක් හැම එකටම අපි ඔවුන්ට ඇඳුම් ලබා දුන්නා. ක්‍රීඩකයන්ගේ නිල ඇඳුම් සඳහා අපි මිලියන 3.5ක් වගේ වියදම් වුනා. ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට තමයි අපි ඒ වගේ දෙයක් අපි කළේ. මේ පුවත්පත් වාර්තා ගැන අපි නිලූක කරුණාරත්න එක්ක කතා කළා. ඔහු අපිට කිව්වේ ඔහු පළමු තරගයේ දී ඇඳපු ඇඳුම ඔහු විශ්වාස කරන විදිහට වාසනාවන්ත එකක්. මේක මානසික දෙයක්. අපි ක්‍රීඩකයන් පැත්තෙන් හිතන්න ඕනේ. ඔවුන් කැමති එකක් අඳින්න අපි අවසරය දෙන්න ඕනේ. 

ගොඩක් අය කිව්වා ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරලා නැහැ වගේ එකක්. ඒත් එහෙම නැහැ ඔහුගේ ඇඳුමේ පසුපස ඔහුගේ නම සහ රට ගහලා තියනවා.

අපි ක්‍රීඩකයන්ට සියලු පහසුකම් ලබා දීලා තියෙන්නේ. ඔවුන් කැමති විදිහට ඇඳුම තීරණය කරන්න අපි අවස්ථාව ලබා දුන්නා. මේ වගේ ප්‍රශ්නයක දී ක්‍රීඩකයන් මානසිකව දැඩි අපහසුතාවයකට ලක්වෙනවා. ඔලිම්පික් කමිටු ප්‍රධානී සුබ්‍රමනියම් මහතා පවසා සිටියා.

ක්‍රීඩකයන් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් නොදැක්වීම පිළිබඳවද මාධ්‍යවේදීන් විමසා සිටියා.

ජපානයේ මේ තියන තත්ත්වය සහ ඔවුන්ගේ සංවිධායකයන්ගේ නීතිරීති එක්ක අපිට ක්‍රීඩකයන් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සමහර ක්‍රීඩාංගණවල එහෙම යන්න අවස්ථාවක් දුන්නත් බොහෝ තැන්වල එහෙම දුන්නේ නැහැ. ඒ වගේම මේ තත්ත්වය එක්ක ඔවුන් ක්‍රීඩාංගණයේ ගොඩක් වෙලා රැඳී ඉන්න ඉඩ දෙන්නේ නැහැ. තරග ඉසව්ව අවසන් වුන ගමන් ක්‍රීඩකයන් එතනින් ඉවත් කරන්න බලධාරීන් කටයුතු කරනවා. ඒක ගැන අපිට ලොකු දෙයක් කරන්න බැහැ. අපි උත්සාහ කරනවා බලධාරීන් එක්ක මේ ගැන කතා කරලා ඒකට විසඳුමක් ලබා ගන්න. ඒ පිළිබඳව අදහස් දක්වමින් මැක්ස්වෙල් මහතා සහ සුබ්‍රමනියම් මහතා පවසා සිටියා.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව සහ මෙරට ක්‍රීඩාවේ අනාගත සැලසුම් පිළිබඳව ද ඔවුන් අදහස් දක්වා සිටියා.

අපි අසමත් වුනේ නැහැ. අපි දන්නවා ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒකට අපේ පැත්තෙන් දෙන්න ඕනේ උපරිම සහයෝගය අපි ලබා දෙනවා. ක්‍රීඩකයන්, කණ්ඩායම්, ඔලිම්පික් කමිටුව වගේම ක්‍රීඩා අමාත්‍යාංශය ඔක්කොම එකතු වෙලා මේකට සැලසුම් හදන්න ඕනේ. ක්‍රීඩකයන් වෙනත් රටවල තරග වලට යවන්න ඕනේ. අත්දැකීම් නැතිව දිනන්න බැහැ. අපි උපරිම උත්සාහය ගන්නේ ඒකට.

පුහුණුවීම් විතරක් කරලා තරග දිනන්න බැහැ. තරගවලට යන්න ඕනේ. පසුගිය වසර පුරාම තරග තිබ්බේ නැහැ. ඒක ක්‍රීඩකයන්ට උන අසාධාරණයක්. අපි මේ ඔලිම්පික් තරගාවලිය ගත්තම තාමත් කිසිම වාර්තාවක් බිඳ වැටිලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ තරගාවලි පැවැත්වුණේ නැති එක. 

අපි මූලිකවම බලාපොරොත්තු වුනේ ක්‍රීඩකයන් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්න එක. ඒක අපිට කරන්න බැරි වුනත් ක්‍රීඩකයන් හොඳ දස්කම් දක්වන්න සමත් වුනා. විශේෂයෙන් ලෝකේ අනෙක් ක්‍රීඩකයන්ටත් වාර්තා පිහිටුවන්න පුළුවන් වුනේ නැහැ. ඒකට මූලික හේතුව වුනේ ක්‍රීඩකයන්ට පුහුණු වෙන්න අවස්ථාවක් නොලැබීම. පසුගිය වසරක කාලය තුල කිසිම තරගයක් පැවැත්වුණේ නැහැ. ඒත් අපි මේක හොඳ අත්දැකීමක් කරගන්නවා ඉදිරි තරගවලට ක්‍රීඩකයන් සහභාගී කරද්දී සූදානම් වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන අදහසක් ලබාගන්න. ක්‍රීඩකයන් විදෙස් පුහුණුවීම් වලට යවන්න සහ තරගාවලි වලට සහභාගී කරන්න අපි සැලසුම් කරමින් ඉන්නවා. 

අපිට දීර්ඝ කාලීන සැලසුම් ඕනේ. අවුරුදු 4 කින් ඔලිම්පික් පදක්කමක් ගන්න ක්‍රීඩකයෙක් හදන්න බැහැ. ඊට වඩා කාලයක් යනවා මේ ක්‍රියාවලියට. අනාගත සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ගාමිණි ජයසිංහ මහතා පවසා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන තවත් තරග ඉසව් 3ක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව නිමාලි ලියනආරච්චි, යුපුන් අබේකෝන් සහ මැතිල්ඩා කාර්ල්සන් සහභාගී වන තරග ඉසව් එළඹෙන ජූලි මස 30, 31 සහ අගෝස්තු 3 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම.

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<