කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක පළමු ඉනිමේ හොඳ ලකුණු සංඛ්‍යාවක අවශ්‍යතාව යලිත් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරදවා ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල එක්දින ශූරතාව දිනා ගන්නට ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් සමත් විය. ඒ අවසන් මහා තරගය ලකුණු 34කින් ජය ගනිමිනුයි.
පසුගිය ලිපි: ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් ශ්‍රී ලංකාව අවසන් තරඟයට
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක අභිෂේක් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. ප්‍රීත්වී ෂෝ සහ හිමාන්ෂු රානා පළමු කඩුල්ලට ගොඩනැගු වේගවත් සබඳතාව ලකුණු 67ක්. ෂෝ ලකුණු 39කට දැවී ගියත් රානා සමඟ එක්වූ ශබ්මන් ගිල් දෙවන කඩුල්ලට අගනා ලකුණු 88ක සබඳතාවක් ගොඩ නගන්නට සමත් වූ අතර ඔවුන් දෙදෙනාම අර්ධ ශතක ද වාර්තා කරන ලදී.

නායක අභිෂේක් ශර්මා සහ සලමන් ඛාන් ද සැලකිය යුතු දායකත්වයක් කණ්ඩායමට ලබා දුන්නේ පිලිවෙලින් ලකුණු 29ක් සහ 26ක් ලබා ගනිමිනුයි. වරෙක පහසුවෙන්ම ලකුණු 300 සීමාවට ලඟා වන බවක් පෙන්නුම් කල ඉන්දීය යොවුන් කණ්ඩායම තරමක් මෙල්ලක කල නිපුන් රන්සිකගේ වේග පන්දුවට මැද පෙළ පිතිකරුවන් තිදෙනෙක් ගොදුරු වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව නියමිත පන්දුවාර 50 අවසානයේ දැක්වූයේ කඩුලු 8කට ලකුණු 273ක් ලෙසයි.

නායක කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ වේගය රඳවා ගත්තේ පන්දු 57ක් තුල ලකුණු 53ක් ලබාගෙන ඉනිමේ දෙවන අර්ධ ශතක ලාභියා බවට පත් වෙමිනුයි. කමිඳු සහ රේවන් කඩුල්ලේ රැඳී සිටි එක් අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු 8ක් අතැතිව ජයග්‍රහණය සඳහා පන්දු 119කදී අවශ්‍යව තිබුනේ ලකුණු 116ක් පමණයි.
කෙසේවෙතත් තම ග්‍රහණයෙන් ගිලිහී යමින් තිබු තරගය නැවත ඉන්දීය යොවුන් කණ්ඩායම වෙතට දෝලනය කළ නායක අභිෂේක් රේවන් කෙලී නැවත ක්‍රීඩා ගාරය වෙත හරවා යැවුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමද ආරම්භ කරමිනුයි. එතැන් පටන් අභිෂේක් ගේ සහ රාහුල් චහාර්ගේ දඟ පන්දු හමුවේ හිස ඔසවන්නට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ට හැකියාවක් ලැබුනේ නැහැ.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 38ක් තුල බිඳ වැටුනේ යොවුන් ආසියානු කුසලානයේ පහස 16 හැවිරිදි ඉන්දීය නායකයාගේ දෝතට හිමි කරමිනුයි. එම ගෞරවය තමන් සතු කරගැනීමට සියලු සුදුසුකම් සපුරා ඇති බව ප්‍රදර්ශනය කල නායක අභිෂේක් ශර්මා කඩුලු 4ක අයිතිය දිනා ගනිද්දී රාහුල් චහාර් බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.
අභිෂේක් තරගයේ වීරයා ලෙසින්ද සම්මානයට පාත්‍ර වූ අතර තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ හිමාන්ෂු රානා.
ලකුණු පුවරුව
ඉන්දීය වයස අවුරුදු 19න් පහල – 273/8 (50) : හිමාන්ෂු රානා – 71, ශුබ්මන් ගිල් –70, ප්‍රීත්වී ෂෝ – 39, නිපුන් රන්සික – 3/50, ප්‍රවීන් ජයවික්‍රම – 3/53
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල – සියල්ලන් දැවී 239 (48.4) : රේවන් කෙලී – 62, කමිඳු මෙන්ඩිස් – 53, හසිත බෝයගොඩ – 37, අභිෂේක් ශර්මා 4/37, රාහුල් චහාර් – 3/22
ලකුණු 34ක ජයක් සමඟින් ආසියානු කුසලාන යොවුන් එක්දින තරගාවලියේ ශූරතාව ඉන්දීය වයස අවුරුදු 19න් පහල කණ්ඩායමට.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට






















