“වැඩි විශ්වාසයකින් ක්‍රීඩා කරන ‘යුසී’ කෙනෙක් දැක ගන්න පුළුවන්”

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

224

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියේ දී මීට පෙර නොදුටු, වඩා විශ්වාසදායී ‘යුසී’ කෙනෙකු දැක ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පා දඟපන්දු යවන ක්‍රීඩක ​Yuzvendra Chahal සඳහන් කර සිටියා.

ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම සතු පළපුරුදුම පන්දු යවන්නා වන Chahal තරගාවලියේ අනුග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඉහත අදහස් පළ කර සිටියා.

එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා. “ඇත්තටම මම බොහෝ කාලයකට පසුවයි එක්දින තරගාවලියකට ක්‍රීඩා කරන්නේ. නමුත් අපි මේ වන විටත් ශ්‍රී ලංකාවේ දී පුහුණු තරග දෙකකට ක්‍රීඩා කළා. අපි අපේ පුහුණුවීම් උදේ ඉඳන්ම පුහුණුවීම් සිදු කරන බැවින් මෙහි පවතින රස්නෙ දැන් අපිට පුරුදුයි. විස්සයි විස්ස තරග සඳහා එක්දින තරග සසඳන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. විශේෂයෙන් අපි ඒ තරගවල දී පැය තුනහමාරක් පමණ කාලයක් පමණක් ක්‍රීඩාංගණයේ රැඳී සිටීම නිසා” යැයි Chahal සඳහන් කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

2019 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී වමත් දඟපන්දු යවන කුල්දිප් යාදව්ට අමතරව Chahal ඉන්දීය කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙකු වුනා. කෙසේ වෙතත් එම තරගාවලියෙන් පසු Chahalට ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවූ අතර අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ 2020 වසරේ නොවැම්බර් මාසයේ දීයි.

2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසු Chahal ක්‍රීඩා කරන ලද එක්දින තරග 5 දී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 37.12ක් ලෙසින් සටහන් වුණු අතර පන්දු වාරයකට ලකුණු 6.56ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ඔහුට එරෙහිව ක්‍රීඩා කළ පිතිකරුවෝ සමත් වූහ.

“මගේ දක්ෂතා ගත්තහම මම හිතන්නේ නෑ එය ස්වරූපයෙන් අඩුවක් ගෙන තියෙනවා කියලා. ක්‍රීඩකයෙකුට සෑම තරගයක දී ම දස්කම් අතරට පැමිණීමට නොහැකියි. මම මගේ මට්ටමින් දක්ෂතා අතරට එන්න උපරිම උත්සාහ කළා. කොහොම වුනත් මේ තරග මාලාව දක්ෂතා අතරට එන්න මට ගොඩක් වැදගත් වේවි” යැයි තවත් දින 5කින් තමන් හමුවේ ඇති අභියෝගය පිළිබඳව Chahal අදහස් දක්වයි.

Chahal යනු වෙනත් පා දඟපන්දු යවන්නන් මෙන් විශාල ලෙස පන්දුව දඟ කැවීමට උනන්දුවක් නොදක්වන පන්දු යවන්නකු වන අතර පා දඟපන්දු යවන්නන් සතුව ඇති තුරුම්පු පන්දුව වන ‘ගුග්ලි’ පන්දුව ද යහමින් යවන පන්දු යවන්නකු නොවේ. 

එහෙත් පිතිකරුට පා ඉන්න ප්‍රදේශයට පන්දුව පතිත කරවමින් කඩුල්ල තුළටම පන්දුව යැවීමට සමත්කමක් දක්වන Chahal මෙතෙක් දවා ගෙන ඇති කඩුලු වලින් 25%ක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවන් වන අතර 11%ක් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී දවා ගැනීම් ලෙස සටහන් වේ.

”මේ මොහොතේ මගේ ප්‍රධානම අවධානය යොමු වෙලා තියෙන්නේ මේ තරගාවලියට. මගේ පන්දු යැවීමේ දී විශේෂිත වූ පන්දු කීපයක්ම තිබෙන නමුත් ඒ සියල්ල නිරන්තරයෙන්ම භාවිතා කරන්නේ නෑ. නමුත් ඔබට මේ තරගාවලියේ දී වැඩි ආත්ම විශ්වාසයකින් යුතු පන්දු යවන ‘යුසී’ කෙනෙකු දැක ගන්නට ලැබේවි” යැයි Chahal සඳහන් කරයි.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<