මනෝදරාගේ ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

216
WWC Sri Lanka v Pakistan

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග ඊයේ (15) නිමාවට පත්විය. අවසන් තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර පැවැත්විය. එංගලන්තයේ ලෙයිස්ටර් හිදී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 15ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ ඉඩෝරයට තවත් පරාජයක් එක්වෙයි

මේ දිනවල එංගලන්තය සහ වේල්සය පදනම් කර ගනිමින් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ …

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකාව වන ඉනෝකා රණවීර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් යුගලය වන නිපුනි හංසිකා හා හශිනි පෙරේරාගේ සබඳතාවය ලකුණු 4කට සීමා කිරීමට ඩයිනා බෙයිග් සමත් විය. ඇයගේ පන්දුවක් හමුවේ එක් ලකුණකට දැවී යාමට නිපුනිට සිදු විය.

ඉන් මොහොතකට පසුව 4 පහර 3ක් සමඟින් ලකුණු 13ක් රැස්කරගෙන සිටි හශිනි ද, දකුණතින් මඳ වේගපන්දු යවන ඩයනා බෙයිග්ගේ ගොදුරක් බවට පත්වූයේ, කඩුලු රකින්නිය වෙතට උඩ පන්දුවක් ලබා දීම නිසාවෙනි.

තෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වූ චමරි අතපත්තු හා ශසිකලා සිරිවර්ධන ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම යම්තාක් මට්ටමකට ඔසවා තැබූ අතර, වමතින් පිතිකරණයේ නිරත වන චමරි ඊයේ දිනය තුල වර්ණවත් 4 පහර 5ක් සමඟින් ලකුණු 27ක් රැස්කරගෙන සිටිය දී කයිට් ඉමිතියාස්ගේ පන්දුවක් හමුවේ මිඩ්විකට් කලාපයේ රැඳී සිටි සානා මීර්ගේ දෑතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන ලදි.

පන්දුවාර 20යි පන්දු දෙකක් අවසානයේ මෙම තරගාවලිය තුල හොඳින් ලකුණු අතර සිටි ක්‍රීඩිකාවක් වන ශසිකලා ලකුණු 17ක් ලබාගෙන සිටිය දී දැවී ගිය අතර, ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 82ක් ලෙස දිස්විය. ප්‍රසාදිනී වීරක්කොඩි ද දකුණතින් පිට දඟපන්දු යවන සනා මීර්ගේ පන්දුවකට දැවී යන ලදි.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණක් වෙත ඔසවා තැබූ සබඳතාවයක් ගොඩනැංවීමේ වගකීම ඉටු කළ ඩිලානි මනෝදරා හා එශානි කෞෂල්‍යා සය වන කඩුල්ල සඳහා ලකුණු 76ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

එහි දී සිය තෙවන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කර ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන මනෝදරා පන්දු 111ක දී මනරම් 4 පහර 9ක් සමඟින් ලකුණු 84ක් රැස්කරගත් අතර, ඇයට අනගි සහයක් ලබා දුන් එශානි පන්දු 45ක් තුල ලකුණු 28ක් රැස්කරගත්තේ 4 පහර 3ක් ද සමඟිනි. ඩයිනා බෙයිග් හා අස්මාවියා ඉක්බාල් පිළිවෙළින් එම කඩුලු දෙක දවා ගන්නා ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 221ක් රැස්කර ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ඩයිනා බෙයිග් ලකුණු 41ක් තුල කඩුලු 3යි.

ලකුණු 222ක ඉලක්කයක් හඹා යාමට පිටියට අවතීර්ණ වූ පාකිස්තානු කාන්තා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 15කට සීමා වූයේ, චන්දිමා ගුණරත්නගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි. ඒ නිසා එක් 4 පහරක් සමඟින් ලකුණු 10ක් ලබාගෙන සිටි නහිදා කාන් හට පිටිය හැරදා යාමට සිදු විය.  

ලකුණු 54ක් වන විට පාකිස්තානු කාන්තා කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගැනීමට චන්දිමා ගුණරත්න හා ශසිකලා සිරිවර්ධන සමත් විය. සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නයින් අබිදි හා ඉරාම් ජාවේඩ් ලකුණු 53ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් පාකිස්තානු කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් එක් කරන ලදි. නමුත් චමරි අතපත්තු ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් එම ක්‍රීඩිකාවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යවන ලදි.  තම 9 වන අර්ධ ශතකය ලබා ගත් අබිදි අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය. ඇයගේ ඉනිම 4 පහර 9කින් අලංකාරවත් විය.

ඉන්පසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් පාකිස්තානු පිතිකාරිනියන් එකා පිට එකා දවා ගනිමින් තරගය තියුණු ස්ථානයක් වෙත රැගෙන ආ අතර, අස්මාවියා ඉක්බාල් එක් අන්තයක තනි කරමින් අනෙක් අන්තයේ පිතිකාරිනියන්ව දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් විය. අවසානයේ පාකිස්තානු කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 206ක් පමණි. එහි දී පන්දු 45ක් තුල අස්මාවියා නොදැවී ලකුණු 38*ක් රැස්කර ගත්තේ 4 පහර 5ක් සමඟිනි.

චන්දිමා ගුණරත්න ලකුණු 41ක් තුල කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඇයට සහය වූ අමා කාංචනා කඩුලු 2යි.

මේ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කළේ සහභාගි වූ තරග 7න් 6ක් ම පරාජය වෙමිනි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 221 (පන්දුවාර 50): ඩිලානි මනෝදරා 84, එශානි කෞෂල්‍යා 28, චමරි අතපත්තු 27, ඩයිනා බෙයිග් 3/41, සදියා යූසුෆ් 1/32.

පාකිස්තානු කාන්තා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 206 (පන්දුවාර 46.4): නයින් අබිදි  57, අස්මාවියා ඉක්බාල් 38*, ජවෙයිරියා කාන්24, චන්දිමා ගුණරත්න 4/41, අමා කාංචනා 2/31

තරගයේ වීරවරිය – ඩිලානි මනෝදරා (ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම)

මෙයට අමතරව ඊයේ දිනය තුල තවත් තරග තුනක් පැවති අතර, එම තරගවලින් එංගලන්තය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් ජයග්‍රහණය කරන ලදි.

මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව සමත් වූ අතර, මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ලබන 18 වැනි දා එංගලන්තයේ, බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<