ශ්‍රී ලංකා පිතිකරුවන් රූට් සහ විලියම්සන් උදාහරණයට ගනී

237

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ලකුණු 300 සීමාව පසුකර යන්නට අසමත් වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) ඩර්හැම් නුවර ‘Riverside Grounds’ ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී එම බාධකය පසුකර යාමට බලාපොරොත්තු වනු ඇති බව නොඅනුමාන ය. 

දකුණු අප්‍රිකානුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට මුහුණ දී ……….

මේ දක්වා ක්‍රීඩා කර ඇති තරග 7න් තරග 5ක් ම පරාජයට පත්වී ඇති දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවන අතර ඒ අනුව ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සියලුම අවස්ථාවන් මේ වන විට අහිමිව ගොස් අවසන් ය. අනෙක් පසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග සංඛ්‍යාවෙන්ම ප්‍රසාද ලකුණු 6ක් හිමි කර ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවෙයි.

සමතලා තණතීරුවක ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාව පරාජයට පත්කිරීමට නම් එහි දී පිතිකරුවන් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන යාම අතිශය වැදගත් වනු ඇත. මේ දක්වා තරගාවලියේ අවස්ථාවන් දෙකක දී ම ඔවුන්ව ගලවා ගනු ලැබුවේ ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය යි.

තරගයේ මුල් භාගයේ දී පැවති නවසීලන්ත, ඇෆ්ගනිස්ථාන සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වලට එරෙහි තරගවල දී ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් යුගලයක් වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පමණක් පිතිකරණයෙන් දක්‍ෂතා අතරට පැමිණෙමින් ශ්‍රී ලංකාවේ ගලවා ගැනීමට සමත් වූ නමුත් ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පසුගිය තරගයේ දී ඒ දක්වා දක්‍ෂතා අතර නොසිටි ශ්‍රී ලංකා මැදපෙළ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පෙරමුණ යටතේ ලකුණු අතරට එන්නට සමත් විය. 

එහි දී තරුණ ක්‍රීඩකයින් දෙපළක් වන කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම් ද්විත්වය ද කැපී පෙනෙන්නට විය. කෙසේ නමුත් මේ දක්වා සිදුවී නොමැති දෙය නම් මුළු පිතිකරණ බලඇණියම එක්ව දක්‍ෂතා අතරට පැමිණීමයි.

96 වසරේ ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේම සනත් ජයසූරිය සොයා ගිය හැටි

සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ සුසංයෝගය ගැන ඔබට ඇති ……

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස් අවස්ථාවන් ගණනාවක දීම ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. ඔවුන් ඉනිම ආරම්භයේ මන්දගාමී ක්‍රීඩකයින් ලෙස සැලකුනත් මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ ඉහළ දක්‍ෂතා දක්වන්නට සමත් වී ඇත. මේ වන විට තරගාවලියේ ඉහළම ලකුණු ලාභීන් 5 දෙනා අතර සිටින රූට් සහ විලියම්සන් පිළිවෙළින් ලකුණු 432ක් සහ 414ක් ලබා ගැනීමට සමත්ව ඇත.

හතුරුසිංහ තවදුරටත් කණ්ඩායමේ සිටින අත්දැකීම් ක්‍රීඩකයින් මේ මොහොතේ දක්‍ෂතා අතරට පැමිණෙමින් සිය උපරිමයෙන් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදි. එමෙන්ම ඔවුන් සතු පිතිකරණ සැලසුම් රාශියක් මැතිව්ස් වටා ගොඩනැඟී ඇති බව ද ඔහු අනාවරණය කළේය.

“කණ්ඩායමේ සිටින අත්දැකීම් සහිත ක්‍රීඩකයින් හෝ ප්‍රබල ක්‍රීඩකයින් දක්‍ෂතා අතරට පැමිණීම අපේ විශ්වාසය ඉහළ නංවලා තියෙනවා. අපේ තරග ජයග්‍රහණයට ඔවුන්ගේ උත්සාහයන් ගොඩක් වැදගත්. අපි කේන් විලියම්සන් සහ ජෝ රූට්ව උදාහරණයට ගත්තොත් ඔවුන් කණ්ඩායමට අවශ්‍ය අවස්ථාවන් වලදී දක්‍ෂතා අතරට පැමිණිලා තියෙනවා. ප්‍රතිවාදී කණ්ඩායම් වලට අවශ්‍ය ඔවුන්ව ඉක්මනින් දවා ගැනීම.” හතුරුසිංහ දකුණු අප්‍රිකානු තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පැවසීය.  

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න << 

“මැතිව්ස් වගේ ක්‍රීඩකයෙක් ගත්තොත් ඔහු ලෝක තලයේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහු එංගලන්තයට එරෙහි තරගයේ දී ප්‍රබල මානසික ශක්තියක් පෙන්නුවා. මොකද ඔහු ඊට පෙර තරගවල දී ලකුණු අතරට පැමිණෙන්නට අසමත් වීම නිසා ලොකු පීඩනයකින් හිටියේ. නමුත් එහි දී ඔහු හොඳ සබඳතා එකකට දෙකකට එක්වුණා. එය ඔහුගේ උපරිමය නෙමෙයි. මොකද අපි දන්නවා ඔහු කෙතරම් දක්‍ෂ පිතිකරුවෙක් ද කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ක්‍රීඩකයින් එක්වෙලා සබඳතා ගොඩනඟමින් පිතිකරණ බලඇණියක් විදිහට දක්‍ෂතා දැක්වීම ගොඩක් වැදගත්.”

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබුණු තරග 4 තුළ මේ වන විට කිසිදු පිතිකරුවෙක් ශතකයක් වාර්තා කිරීමට සමත්ව නොමැත. ඒ අනුව ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී දිමුත් වාර්තා කර ගත් ලකුණු 97 මේ දක්වා තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එක් ඉනිමක දී වාර්තා කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී ඇත. නමුත් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මැල් පවසන අන්දමට ශ්‍රී ලංකා පිතිකරුවන් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙමින් විශාල ශතක වාර්තා කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටී.

ඉදිරියේ දී ඇති තරග 3ම ජයග්‍රහණය කිරීම හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හොඳ අවස්ථාවක් හිමිවන නමුත් ඒ සඳහා පළමුව ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ බාධකය ජයගත යුතු වේ.   

රෝහල්ගත කළ ලාරාගේ අලුත්ම තත්වය

“ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා” (The Prince) ලෙස හැඳින්වුණු බටහිර ………….

පසුගිය තරග ද්විත්වය තුළ දී පන්දු 100ට වඩා මුහුණ දුන් පිතිකරුවන් දෙදෙනෙක් අපේ කණ්ඩායම තුළ සිටිනවා. ඒක හොඳ දෙයක්. මොකද තරගයක දී පන්දු 100කට මුහුණ දීම කියන්නේ අපේ ක්‍රීඩකයෝ පසුගිය අවුරුද්ද පුරාවටම කරන්න අසමත් වෙච්ච දෙයක්.” ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙවිස් මාධ්‍ය අමතමින් පැවසීය.

“ඒක තමයි අපට අවශ්‍ය දේ. පන්දු 40 හෝ 50ට සීමා වෙච්ච දක්ෂතාවයක් නෙමෙයි. මේ ලෝක කුසලානයම ඒකට හොඳ උදාහරණයක්. කේන් විලියම්සන් සහ ජෝ රූට් විශේෂයෙන්. ඔවුන් පිටියට පිවිසි ගමන්ම වේගයෙන් ලකුණු රැස්කරන ක්‍රීඩකයින් නෙමෙයි. නමුත් ඔවුන් හොඳින් ඉනිම ගොඩනඟමින් ලකුණු රැස්කර ගන්නවා. ඒක තමයි සිදුවෙන්න ඕන දේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<