කොදෙව් තරගයේ දී ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටේ

166
Sri Lanka's semi-final hopes squashed

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වන විට එංගලන්තයේ දී පැවැත්වෙන අතර, එහි 20 වන තරගය ඊයේ (9) බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර කන්ට්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගය ලකුණු 47කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.

දියාරු පන්දු රැකීම ඉන්දියාවේ ජයග්‍රහණයට පාර කපයි

මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අද (05) පැවැත්වූ තරගය ලකුණු 16කින් ජයග්‍රහණය

ශ්‍රී ලංකා කාන්තා නායිකා ඉනෝකා රණවීර කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ එකදු තරගයක් හෝ ජයග්‍රහණය කර නොතිබීම නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය පරිදි පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් යුගලය ඔවුන්ගේ පළමු කඩුල්ල සඳහා පන්දුවාර 8ක් තුල ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් විය. එම සබඳතාවය අවසන් කරමින් 4 පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබාගෙන සිටි හේලී මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමින් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රීපාලි වීරක්කොඩි සමත් විය.

පසුව පිටියට අවතීර්ණ වූ කොදෙව් නායිකා ස්ටෙෆනි ටේලර්ව ද ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට වීරක්කොඩි සමත් වූයේ තම දෙවන කඩුල්ල ද ලබාගෙනයි. කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබාගෙන සිටින විට කයිලා හා එක්වූ නතාශා නේශන් තෙවන කඩුල්ල සඳහා ලකුණු 33ක සබඳතාවයක් ගොඩනංවමින් කොදෙව් කාන්තා කණ්ඩායමේ මැදපෙළ සවිමත් කළ අතර 4 පහර දෙකක් සමඟින් ලකුණු 20ක් ලබාගෙන සිටි නේශන්, අමා කාංචනාගේ පන්දුවකට දැවී යන ලදි. පන්දු 52ක් තුල ලකුණු 19ක් ලබාගෙන තරමක මන්දගාමී පිතිකරණයක නිරත වුන කයිලා, ශසිකලා සිරිවර්ධනගේ පන්දුවකට දැවී යන ලදි.

කාන්තා තරගයක දී විරලව දැක ගන්නට ලැබෙන පිතිකරණ විලාසයක් අනුගමනය කළ ශකීරා ඩොටින් පන්දු 25ක් තුල 4 පහර 7ක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නා ලදි. ඇයගේ දැවී යාමත් සමඟි සයවන කඩුල්ල සඳහා ලකුණු 37ක සබඳතාවයක් ගොඩනැංවූ  කියෝශ්නා නයිට් හා දකුණත් පිතිකාරිනී මෙරීසා ඇගියුලේරියා මෙම තරගයේ දී කොදෙව් ඉනිම තුල වාර්තා වූ ඉහළම සබඳතාවය ගොඩනංවන ලදි.

අවසන් පන්දුවාර 5 තුල ලකුණු 33ක් ලබා ගැනීමට කොදෙව් පසුපෙළ පිතිකාරිනියන් සමත් වූ අතර, ඔවුන් සමඟින් එක්ව ඉනිම ගොඩනැංවූ ඇගියුලේරියා පන්දු 59ක් තුල නොදැවී ලකුණු 46*ක් ලබාගන්නා ලදි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීපාලි වීරක්කොඩි ලකුණු 38ක් තුල කඩුලු 3ක් දවා ගන්නා විට, අමා කාංචනා සහ ඉනෝකා රණවීර කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට නම් ලකුණු 230ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණි. නමුත් කොදෙව්වන්ගේ දඟපන්දු හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනියන් යුගල වන  නිපුනි හංසිකා හා හශිනි පෙරේරා පිළිවෙළින් ලකුණු 9කට හා ලකුණු 4කට දැවී යන ලදි.

අනතුරුව පිටියේ එක්වූ වමත් පිතිකාරිනී චමරි අතපත්තු හා ශසිකලා සිරිවර්ධන ලකුණු 61ක අගනා සබඳතාවයක් ගොඩනැංවූ අතර, ඒ සඳහා පන්දු 114ක් වැය කරන ලදි. එම අගනා සබඳතාවයට තිත තැබූ අනීසා මොහොමඩ් අතපත්තු ලකුණු 26ක් ලබාගෙන සිටිය දී තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කරන විට ඇය තම ඉනිමට 4 පහර 2ක් අන්තර්ගත කරගෙන තිබුණි.

ඇයගේ දැවී යාමට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පන්දු 15 ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම්ම සුභදායී නොවූයේ ඒ පන්දු කිහිපය තුල වටිනා කඩුලු දෙකක් ශ්‍රී ලංකා මැදපෙළින් ගිලිහී ගිය නිසාවෙනි.

පසුගිය තරගයේ දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වෙමින් ලකුණු 61ක් ලබා ගත් ඩිලානි මනෝදරා මෙම තරගයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, අගනා ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටි සිරිවර්ධන දකුණතින් පිට දඟපන්දු යවන මොහොමඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් 4 පහර 5ක් සමඟින් ලකුණු 33ක් රැස්කරගෙන සිටිය දී දැවී යන ලදි.

ප්‍රසාදිනී වීරක්කොඩි හා ඕෂධී රණසිංහ 6 වන කඩුල්ලට ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය යම්තාක් මට්ටමකට උණුසුම් කළ ද, වීරක්කොඩි හා රණසිංහ පිළිවෙළින් ලකුණු 30ක් හා ලකුණු 20ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වීරක්කොඩි අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියාය. පසුපෙළ පිතිකාරිනියන් ද කෙමෙන් කෙමෙන් තරගයේ ජයග්‍රහණය වෙත සිය කණ්ඩායම මෙහෙයවීම ආරම්භ කළ ද, ඒ සඳහා ප්‍රමාණවත් පන්දු ප්‍රමාණයක් ඉතිරිව නොතිබීම නිසා ඔවුන් දැඩි පීඩනයකට හසු විය. එය කොදෙව් ක්‍රීඩිකාවන්ට අවසන් කඩුලු කිහිපය දවා ගැනීමට විශාල රුකුලක් විය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 182ක් වන අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටි ශ්‍රීපාලි වීරක්කොඩි ලකුණු 13 යි.

පන්දු යැවීමේ දී අනීසා මොහොමඩ් සිය නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 39ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගන්නා විට, ශනෙල් ඩාලි හා සමන්තා ෆෙලෙචර් කඩුලු 2ක බැගින් බිඳ හෙළීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී ලකුණු 229 (පන්දුවාර 50): මෙරීසා ඇගියුලේරියා 46*, ශකීරා ඩොටින් 38, හේලි මැතිව්ස් 26, ශ්‍රීපාලි වීරක්කොඩි 3/38  ,අමා කාංචනා 2/50, ඉනෝකා රණවීර  2/56.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 48): ශසිකලා සිරිවර්ධන  33, ප්‍රසාදිනී වීරක්කොඩි 30, චමරි අතපත්තු 26, අනීසා මොහොමඩ් 3/39, ශනෙල් ඩාලි 2/30, සමන්තා ෆෙලෙචර් 2/38.

තරගයේ වීරවරිය – අනීසා මොහොමඩ් (කොදෙව් කාන්තා කණ්ඩායම)

මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ ඉඩකඩ ඇහිරී ගියේය.

ඊයේ දිනය තුල එංගලන්ත කාන්තා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගයක් ද පැවති අතර එම තරගයෙන් ලකුණු 3ක තියුණු  ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ලබන 12 වැනි දා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟින් ටවුටන් නුවර කන්ට්‍රි ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට