2019 හයිලෑන්ඩර්ස් කුසලානය අමිල අමරසූරියට

92

ගොල්ෆ් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් ලෙස ඉහළ මට්ටමකට රැගෙන ඒම සඳහා යුද හමුදාවේ උත්සාහය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, ශ්‍රී ලංකා යුද හමුදා ගොල්ෆ් කමිටුවේ ආරාධනයකට අනුව ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් ඇතුළු ජාතික ගොල්ෆ් ක්‍රීඩකයින් සහ ගොල්ෆ් ක්‍රීඩාලෝලීන් 79 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ වාර්තාගත සහභාගිත්වයෙන් ‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරගාවලිය – 2019 ඉකුත් සෙනසුරාදා (29) ප්‍රතිසංස්කරණය කරන ලද දියතලාව යුද හමුදා ගොල්ෆ් පිටියේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා යුද හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහගේ ආරාධනයකට අනුව පසුගිය වසරේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සකස් කරන ගොල්ෆ් ක්‍රීඩා පිටිය සහ අලුතින් ඉදි කරන ලද සමාජ ශාලාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද යුද හමුදාපතිතුමන් සහභාගි විය.

තෙවැනි වරටත් පවත්වනු ලැබූ මෙම තරගාවලිය ඉකුත් සෙනසුරාදා (29) පැවති අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති ලක්සිරි වඩුගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ‘ඩයලොග්’ ආයතනය සහ ‘ශ්‍රී ලංකන් ගුවන් සමාගම’ කටයුතු කළ අතර තරගාවලියේ  ජයග්‍රාහකයින්ට කුසලාන සහ ගුවන් ප්‍රවේශ පත් ද පිරිනැමීම සිදු විය.

මෙවර තරගාවලියේ දී කොළඹ, ගාල්ල සහ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ නියෝජනය කරන ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟින් ගුවන් හමුදාපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, කොතලාවල ආරක්‍ෂක සේවා විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශ්‍රීනාත් රාජපක්‍ෂ යන ගොල්ෆ් ක්‍රීඩාලෝලීන් සහ තවත් ප්‍රමුඛ පෙළේ ගොල්ෆ් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සෙනසුරාදා සන්ධ්‍යාව දක්වාම තරග වැදුණි. 

මෙවර තරගාවලියට නව මානයක් එකතු කරමින්, ශ්‍රී ලංකා යුද හමුදා ගොල්ෆ් කමිටුව විසින් ‘හයිලෑන්ඩර්ස් කුසලානයට’ අමතරව ‘යුද හමුදාපති කුසලානයක්’ ද පිරිනැමීමට කටයුතු යොදා තිබුණි. 

තරගාවලියේ කීර්තිමත් ‘හයිලෑන්ඩර්ස් කුසලාන -2019’ දිනා ගැනීමට කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ  පළපුරුදු ගොල්ෆ් ක්‍රීඩක අමිල අමරසූරිය මහතා සමත් වූ අතර ‘යුද හමුදාපති කුසලානය’ දිනා ගැනීමට ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් එස්. ධර්මදාස සමත් විය. 

තවද, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශ්‍රීනාත් රාජපක්‍ෂ ඇතුළු තවත් අනුශූරයන් කිහිප දෙනෙකුට මෙහි දී විශේෂ සම්මාන හා සමරු තිළිණ පිරිනැමීය. මෙවර තරගාවලිය සඳහා තරගකරුවන්ගේ සහභාගිත්වයේ වර්ධනයක් දක්නට ලැබුණි. 

පසුගිය දෙවසරක කාලය තුළ ගොල්ෆ් ක්‍රීඩාවට පුනර්ජීවනයක් ලබා දීමේ අරමුණින් ජාත්‍යන්තරව පිළිගත් සමාජ ශාලාවක් ඉදිකිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය කර තිබුණි.

මෙම අවස්ථාවේ දී පිළිගැනීමේ කථාව සිදු කළ බ්‍රිගේඩියර් හතුරුසිංහ, යුද හමුදාපතිතුමන්ට සුබපැතුම් එක් කළ අතර දියතලාව ගොල්ෆ් පිටිය ප්‍රතිසංස්කරණය කර එහි අලුතින් සමාජ ශාලාවක් ඉදිකර ගොල්ෆ් ක්‍රීඩාව ජනප්‍රිය කරවීම වෙනුවෙන් සිදුකරගෙන යන ව්‍යාපෘතියට යුද හමුදාපතිතුමන් ශක්තියක් බව ද එතුමන් පැවසීය. 

යුද හමුදාපතිට අමතරව ත්‍යාග ප්‍රදානෝත්සවයට තවත් කීර්තිමත් ආරාධිතයන් කිහිප දෙනෙකු ද එක්විය. මෙහි දී, සමස්ත හොඳම ලකුණුලාභියා, හොඳම දල ලකුණු ලබා ගත් ජයග්‍රාහකයින්, ශූරයින් සහ අනුශූරයින්ට අමතරව  තරගාවලිය සඳහා සහභාගි වූ ගොල්ෆ් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ද කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කර තිබුණි.

මෙහි දී අදහස් දැක්වූ යුද හමුදාපතිතුමන්,

 “මෙම ගොල්ෆ් තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු අණසක මූලස්ථානය (ARTRAC), ශ්‍රී ලංකා යුද හමුදා ගොල්ෆ් කමිටුව (SLAGC) සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) එක්ව සංවිධානය කරන වාර්ෂික උත්සවයක්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට වසරකට වරක් සිවිල් ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අන්තර්ක්‍රියා ශක්තිමත් කිරීම මෙන්ම ගොල්ෆ් ක්‍රීඩාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම මෙම තරගාවලියේ අරමුණ” යැයි ප්‍රකාශ කළේය. 

ගොල්ෆ් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට සියලුම ක්‍රීඩකයින්ට තමා ආශීර්වාද කරන බව පැවසූ යුද හමුදාපතිවරයා, ශාරීරික හා මානසික වශයෙන් තමා තමාටම අභියෝග කරමින්, ව්‍යායාම කටයුතුවල නිරත වීම හැකියාවන් හි උපරිමයට ළඟා වීම තුලින් ජයග්‍රහණය කළ හැකි බව ද” හෙතෙම මෙහි දී තවදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ගොල්ෆ් ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉතා සාර්ථක ගොල්ෆ් තරගාවලියක් පවත්වා අවසන් කිරීමට මෙවර හැකි වූ බවත්, පසුගිය වසරේ මෙම සමාජ ශාලාව විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒමට අපට හැකි වූ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ විසින් යුද හමුදාපතිතුමන්ගේ පැමිණීම ඇගයුමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් එතුමන් වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදි. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<