ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් වැඩ අරඹයි

353
Sri Lanka Olympians 1st press conference

ක්‍රීඩකයෙකුට සිය ජීවන ගමනේ ලබන්නට හැකි ඉහළම සම්මානය කුමක් දැයි ඇසුවොත් නිතැතින්ම ඔවුන් එයට ඔලිම්පික් පදක්කම යැයි පිළිතුරු දේවී. මන්දයත් රටවල් විශාල ප්‍රමාණයක් අතරින් ඉතාමත් සීමිත පිරිසකට පමණක් හිමි වන මේ අවස්ථාව ඒ තරමටම විරල වන නිසාවෙනි.

අප දේශයේ ද විවිධ වූ බාධා මැද ජීවිතය ජය ගනිමින් ඔලිම්පික් කරා පියමන් කර ක්‍රීඩකයින් පිරිසක් සිටියි. ඔවුන් රටකට ඇති සම්පතක් ලෙස සැලකීමට වුවද වැරැද්දක් නොමැත්තේ එවන් විරල අවස්ථාවකට සහභාගී වෙමින් සිය රටේ නාමයට අභිමානයක් එක් කිරීමට ඔවුන් දැරූ වෙහෙස මහන්සිය සුළුපටු නොවන නිසාය.

තේරීම් කමිටු සභාපතිගේ පදක්කම් පහේ අනාවැකිය සැබෑ වෙයි

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගි වූ 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය, ඊයේ (ජූලි 11) සිය මව්බිමට පැමිණියේය. තරගාවලියේ දී රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට…

එවන් වූ ශ්‍රී ලාංකික “ඔලිම්පියන්ස්” පිරිසක් එකතු වී ඉතාමත් වටිනා පරාර්ථකාමී අරමුණු පෙරදැරි කර ගනිමින් පිහිටුවා ගත් “ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ” ප්‍රථම මාධ්‍ය හමුව ඊයේ (15) ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ දී පැවැත්විය.

1948 සිට 2016 දක්වා කාල පරාසය තුල පැවති ඔලිම්පික් තරගාවලි නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පිහිටුවා ගත් මෙම සංගමය මඟින්, මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගවලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනය, රටකට ක්‍රීඩාවේ ඇති වැදගත්කම පැහැදිලි කිරීම සහ දැයේ දූ දරුවන්ට ඔලිම්පික් පදක්කමක් දක්වා යෑමට අවැසි මඟ පෙන්වා දී ම අරමුණු කරගෙන තිබේ.

මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම සංගමයේ සභාපතිනිය වන ශ්‍රියානි කුලවංශ මහත්මිය පවසා සිටියේ,

“2016 සිට ආසියානු කලාපීය සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබුණා. ඒ සඳහා ජූලියන් බෝලිං, මම (ශ්‍රීයානි කුලවංශ) සහ කොන්ඩ්‍රඩ් ප්‍රැන්සිස් සහභාගී වුනා. මෙහි දී අපේ රටෙත් ඔලිම්පියන්ස් සංගමයක් පිහිටුවීමේ අවශ්‍යතාවය, කාර්යභාරය මෙන්ම වටිනාකම ඉතාමත් තදින්ම දැනෙන්න වුවත්, මෙය ආරම්භ කිරීම ලෙහෙසි පහසු වුනේ නැහැ. නමුත් 2015 දී අපි 4 දෙනෙක් එකතු වෙලා මේක කොහොම හරි ආරම්භ කළ යුුතුමයි කියලා හිතාගෙන 2016 සැප්තැම්බර් මස 26 වැනිදා 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින් මේක ආරම්භ කළා.”

සංගමයේ අරමුණ පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දැක්වූ එතුමිය පවසා සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අසනීප තත්වයන්, ඔවුන්ගේ මූල්‍යමය අපහසුතා ආදී දෑ සොයා බලා ඔවුන්ව නිසි අයුරින් ආරක්ෂා කර ගැනීම සංගමයේ මූලික පරමාර්ථයක් වන බවයි. තවද මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ද ස්ථාපිත කරන බව එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

“ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ, ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුවේ  විශේෂ අවධානය මෙම සංගමය කෙරෙහි යොමු වී තිබීම සතුටට කරුණක්. අප සංගමය ස්ථාපිත කර ගැනීමේ දී අප අතිගරු ජනාධිපතිතුමන් සමඟින් සාකච්ඡා කළා. එහි දී මෙම ක්‍රීඩකයින් සඳහා යම් රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අප ජනාධිපතිතුමන්ට අදහසක් ඉදිරිපත් කළා. ඒ වගේමයි මෙම ක්‍රීඩකයින් වෙනුවෙන් විශේෂ ඇගයීමක් කරන්නට හැකි දැයි අප විමසා සිටියා. එහි දී එතුමන් පවසා සිටියේ 1967 දී පිහිටවූ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශයට වසර 50ක් සපිරෙන අවස්ථාවට සමගාමීවම එම ඇගයීමත් සිදු කර හැකි බවයි. ඒ අනුව මේ මස 24 වැනිදා සවස 6.30 එම ක්‍රීඩකයින් වෙනුවෙන් විශේෂ ඇගයීම් උත්සවයක් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.”

තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ පොතේ ඇති ඔලිම්පික් දැනුමින් ඔබ්බට රැගෙන යමින් විවිධ වැඩමුළු පවත්වා ඔලිම්පික් ක්‍රීඩාව ගැන පුළුල් අවබෝධයක් පාසල් දරු දැරියන්ට ලබා දෙන බවයි. ඒ හරහා පාසල් ක්‍රීඩක ක්‍රීඩකයින් ඔලිම්පික් පදක්කමක් කරා යන මාවතට අවතීර්ණ කිරීමත්, ඔවුන්ට නිසි පුහුණුව තුලින් එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සංගමයේ ඇති අරමුණක් බවයි.

තවද ජාතික තලයේ තරගාවලි සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කළ බවත් බොහෝ දුරට එය සාර්ථක විය හැකි බවත් එතුමිය සඳහන් කළාය.

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ශ්‍රියානි කුලවංශ මහත්මිය සඳහන් කර සිටියේ, ලෝක ඔලිම්පික් සංගමයේ ව්‍යවස්ථාව අනුව යමින් ශ්‍රී ලංකා සංගමයේ ව්‍යවස්ථාව ද සැකසූ බවත්, සංගමයේ නිල ලාංඡනය සහ තේමා පාඨය ද ඒ අනුව යමින් සකස් කර බවයි.

මාධ්‍ය සාකච්ඡාව අතරතුර දී හිටපු පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණ මලල ක්‍රීඩකයෙකු වන සුනිල් ගුණවර්ධන මහතා ද සභාව අමතමින් සඳහන් කළේ, “ඔලිම්පික් ක්‍රීඩා කරපු ක්‍රීඩකයින්ගේ පමණක් මෙම සංගමය පිහිටුවා ගෙන තියෙන නිසා මට විශ්වාසයි මේ හරහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවට විශාල දියුණුවක් සැලසේ වී කියලා. මොකද අනෙක් දේශපාලන, ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයින් සංගමය තුල නොමැති නිසා මෙහි අනාගතය සුබවාදී විය හැකි බවයි.

තවද මෙම සංගමය අනාවරණය කරන පරිදි මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සඳහා ක්‍රීඩකයින් 96ක් පමණ සහභාගී වී ඇති බවත් එයින් ක්‍රීඩකයින් 29 දෙනෙකු මේ වන විය ජීවතුන් අතර නොමැති බවත්, දැනට ජීවත් වන ක්‍රීඩකයින් අතරින් 67ක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඉතිරි 18ක පමණ ප්‍රමාණය විදේශ ගත වී සිටිනා බවයි.

සංගමය මඟින් වසර 4ක් දක්වා බල පැවැත්වෙන පරිදි තෝරා ගත් නිලධාරීන් මණ්ඩලය:

විධායක කමිටුව

  • අනුශාසක – සුසන්තිකා ජයසිංහ මහත්මිය
  • සභාපති – ශ්‍රියානි කුලවංශ මහත්මිය
  • උප සභාපති – සුගත් තිලකරත්න මහතා
  • ලේකම් – දමයන්ති දර්ශා මහත්මිය
  • භාණ්ඩාගාරික – අනුරුද්ධ රත්නායක මහතා

කමිටු සාමාජික

  • පිහිනුම් – ජුලියන් බෝලිං මහතා
  • මලල ක්‍රීඩා – මහේෂ් පෙරේරා මහතා/ හරිජන් රත්නායක මහතා
  • වෙඩි තැබීම – රුවිනි අබේමාන්න මෙනෙවිය

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට