මෙවර එංගලන්තය සහ වේල්සය පදනම් කර ගනිමින් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන්ම කඩුලු 9ක දරුණු පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (24) සිදු විය. ඒ බ්‍රිස්ටල් හිදී පැවති තරගයේ දී ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රීඩිකාවන් තුන් ඉරියව්වෙන්ම දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙනි.

ශ්‍රී ලංකා කාන්තාවන් ඉන්දීය තරගයත් පරාජය වේ

ජුනි මස 24 වන දා සිට ජුලි මස 23 වන දා දක්වා එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකා සුසී බේට්ස් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය කිරීමේ පහසුම ආකාරය වශයෙන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළාය. ඒ පසුගිය පුහුණු තරග කිහිපයේ දී ම පිත්තෙන් එතරම් ඉහළ දක්ෂතා ප්‍රකට කිරීමට අසමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පහසුවෙන්ම අඩු ලකුණු ගණනකට දවා ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි. කෙසේ වෙතත් නවසීලන්තයේ එම සැලසුම් යම්තාක් දුරකට පමා කිරීමට ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකාරිණියන් දෙපළ වන නිපුනි හංසිකා සහ චමරි පොල්ගම්පළ සමත් වූහ.

නවසීලන්ත කණ්ඩායමේ ආක්‍රමණශීලී පන්දුකරණය හමුවේ වුවද ඊයේ නිපුනි හංසිකා පන්දු 48ක දී ලකුණු 31ක් රැස් කළාය. ඒ හතරේ පහර 4ක් සමඟිනි. එක්දින තරගයක් සඳහා එතරම් යෝග්‍ය නොවූවත් ඉනිමේ ආරම්භය ගොඩ නැගීම වෙනුවෙන් වැදගත් කාර්‍යභාරයක් ඉටු කළ චමරි පොල්ගම්පළ ඊයේ පන්දු 130ක් වැය කරමින් ලකුණු 49ක් රැස් කළාය. ඇයගේ මන්දගාමී ඉනිමට අන්තර්ගත වූයේ හතරේ පහර 3ක් පමණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුණි.

නිපුනි හංසිකා දැවී යාමෙන් අනතුරුව චමරි පොල්ගම්පළ සමඟින් එක්වුණු චමරි අතපත්තු ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ දැමීමට සමත් වූවාය. ඒ පන්දු 73කදී හතරේ පහර 7ක් ද සමඟින් ලකුණු 53ක් රැස්කර ගනිමිනි. ‘චමරි යුගලය’ ඊයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට ද සමත් වූහ. ඒ අනුව පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 141ක් ලබාගෙන පත්වූයේ ස්ථාවර තත්ත්වයකටයි.

කෙසේ වෙතත් ලකුණු වේගය ඉහළ දමා ගනිමින් හොඳ ලකුණු පුවරුවක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය කර තිබූ මොහොතේ මැදපෙළ පිතිකාරිණියන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 200 ඉලක්කයටවත් ලඟා වීමට නොහැකි විය. ඒ ලකුණු 47ක් තුල දී ශ්‍රී ලංකා පිළේ කඩුලු 8ක්ම බිඳ වැටුණු බැවිනි. එහි දී එශානි ලොකුසූරිය සහ ඩිලානි මනෝදරා තනි ඉලක්කමේ ලකුණු වලට දැවී ගිය අතර ශශිකලා සිරිවර්ධන ලකුණු 16ක් රැස්කර ගත්තාය. ප්‍රසාදනී වීරක්කොඩිට සහ ශ්‍රීපාලි වීරක්කොඩිටත් සාර්ථක වීමට ඊයේ දිනයේ අවස්ථාවක් උදා නොවීය.

ඉනිමේ අවසන් කොටසේ දී සිදුවුනු මෙම දරුණු නායයෑම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188කට සීමා විය. ඉනිම ආරම්භයේ දී පන්දුවෙන් එතරම් සාර්ථක නොවූ හොලී හඩ්ල්ස්ටන් පසුව ඉතාමත් විශිෂ්ට අන්දමින් තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 35කට කඩුලු 5ක්ම බිඳ හෙලීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මෙම පසුබෑමට වැඩි වශයෙන් හේතු විය. ඇයගේ දකුණත් වේග පන්දුවේ බලපෑම නිසා පිතිකරුවන්ට උචිත වූ බ්‍රිස්ටල් තණතීරුවේ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළට අවස්ථාවක් උදා වූයේ නැත.

පිළිතුරු ඉනිම ඇරඹූ නවසීලන්ත පිතිකාරිණියන් පන්දුවාර 37යි පන්දු 4ක් තුල දී අදාළ ඉලක්කය සපුරා ගනිමින් තම කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය හිමි කර දුන්හ. ඉනිමේ 6 වැනි පන්දුවාරයේ දී ලකුණු 2ක් ලබා සිටි රේචල් ප්‍රීස්ට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ද එතැන් සිට ගොඩ නැගුණු විශිෂ්ට ශතක සබඳතාවය නවසීලන්ත ජයග්‍රහණය ඉතාමත් පහසු කළේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් ජයග්‍රහණය හිමි වන තුරුම කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 106ක් රැස් කළාය. ඒ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද තම මනරම් ඉනිමට එක්කාසු කොට ගනිමිනි.

සුසීට අනගි සහයක් ලබා දුන් වමත් පිතිකාරිණී ඇමී සැටර්වයිට් නොදැවී ලකුණු 78ක් නවසීලන්ත ඉනිමට එක් කළාය. කල් යල් මැන එල්ල කරන ලද දැකුම්කළු හතරේ පහර 7ක් ඇයගේ ඉනිමට ඇතුළත් විය. ලකුණු 170ක මෙම විශිෂ්ට ලකුණු සබඳතාවය නිසාවෙන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 9කිනි. තරගයේ වැඩි වාසිය මුලින්ම නවසීලන්තය දෙසට නතු කරමින් පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ හොලී හඩ්ල්ස්ටන් තරගයේ වීරවරිය ලෙස සම්මාන හිමි කර ගත්තාය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවති සත්කාරක එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය ලකුණු 35කින් ජය ගත් ඉන්දියානු කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට පෙරළිකාර පෙරවදනක් සැපයූහ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ලබන එළඹෙන 29 වැනිදා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් හිදීම පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 188 (පන්දුවාර 50): චමරි අතපත්තු 53, චමරි පොල්ගම්පළ 49, නිපුනි හංසිකා 31, ශශිකලා සිරිවර්ධන 16, හොලී හඩ්ල්ස්ටන් 5/35, අමේලියා කර් 1/13, සොෆී ඩෙවින් 1/31.

නවසීලන්තය – එක් කඩුල්ලක් දැවී ලකුණු 189 (පන්දුවාර 37.4): සුසී බේට්ස් 106*, ඇමී සැටර්වයිට් 78*, චන්දිමා ගුණරත්න 1/20.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<