Defenders මුල්ම ජය ලබද්දී, Colombo FCට දෙවන ජය

Super League Pre-Season 2021

244

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කර Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවේ (Pre-Season) අද (27) පැවති තරගවලින්  Up Country Lions සහ Red Star FC කණ්ඩායම් පරදවා ජයග්‍රහණ ලබා ගැනීමට Defenders FC සහ  Colombo FC ක්‍රීඩකයන් සමත් වුනා.

Defenders – Red Star

තරගයේ මුල් අර්ධයේ සිටම කණ්ඩායම් දෙකම ඉතාමත් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් තරග වදින්නට වූ අතර තරගයේ 21 වැනි මිනිත්තුවේ දී Red Star කණ්ඩායමට ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් ප්‍රතිවාදී ගෝල රකින්නාගේ දක්ෂ ක්‍රීඩා විලාශය නිසාවෙන් අහිමි වුනා.

එම අවස්ථාවෙන් පසුව ද දෙපිලේම ක්‍රීඩකයන්ට ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම මගහැරීම නිසාවෙන් පළමු අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 15ක් පමණ ගත වන තුරුම කණ්ඩායම් ද්විත්වයෙහිම ක්‍රීඩකයන් හට සිය අවස්ථා සාර්ථක කරගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර තරගයේ 68 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී ලද අවස්ථාවක් සාර්ථක කරගනිමින් තරගයේ මුල්ම ගෝලය රැස් කිරීමට Defenders ක්‍රීඩක ස්ටෙෆාන් සමත් වුනා.

එයට පිළිතුරු ලෙස තරගයේ 71 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට දැල වෙත පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට මුල්ම ගෝලය ලබා දීමට Red Star ක්‍රීඩක රිස්ලාන් සමත් වූ අතර තරගයේ අවසාන අතිරේක කාලයේ දී ලැබූ පන්දුවක් අලංකාරව ගෝල රාමුවට එල්ල කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට Defenders ක්‍රීඩක ලක්ෂිත සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Defenders FC 02 (00) – 01 (00) Red Star FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Red Star FC: රිස්ලාන් 71’ 
  • Defenders FC: 68’ ස්ටෙෆාන්, ලක්ෂිත 90 +2’

Colombo FC – Up Country Lions

පෙර තරගයේ ලබා ගත් ජවය එලෙසම පවත්වා ගනිමින් තරගයට අවතීර්ණ වූ Colombo ක්‍රීඩකයන් වෙනුවෙන් තරගයේ 02 වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් සාර්ථක කරගනිමින් මුල්ම ගෝලය වාර්තා කරදීමට සර්වාන් ජෝහාර් සමත් වුනා.

එම ගෝලයෙන් පසුව පළමු අර්ධය නිමා වෙන තුරුම ගෝලයක් රැස්කිරීමට කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයන් හට අවස්ථාව නොලැබීම නිසාවෙන් පළමු අර්ධය Colombo ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් අවසන් වුනා.

පළමු අර්ධයේ ලද වාසියත් සමඟින් දෙවන අර්ධයට පිවිසි Colombo FC ක්‍රීඩකයන් ප්‍රතිවාදීන් හට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර තරගයේ 53 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ආකීබ් යොමු කළ පන්දුවක් සාර්ථකව දැල වෙත එල්ල කරමින් තරගාවලියේ සිය දෙවැනි ගෝලය රැස් කිරීමට ශබීර් රසූනියා සමත් වුනා.

නැවතත් තරගයේ 80 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ආකීබ් යොමු කළ පන්දුවක් අලංකාරව හිසින් ස්ථානගත කරමින් තරගයේ තෙවැනි ගෝලය රැස් කිරීමට Colombo චමෝද් දිල්ෂාන් සමත් වූ අතර තරගයේ 89 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය රැස්කර දීමට Up Country ක්‍රීඩක කවිඳු ඉෂාන් සමත් වුනා.

එම ගෝලය ලබා ගැනීමෙන් මිනිත්තුවකට පසු Colombo ක්‍රීඩකයන් දඬුවම් රාමුවේ දී සිදු කළ වරදක් නිසාවෙන් දඬුවම් පහර අවස්ථාවක් Up Country ක්‍රීඩකයන්ට හිමි වූ නමුත් Colombo ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන්ගේ දක්ෂ නවතාලීම නිසාවෙන් එම අවස්ථාව සාර්ථක ගැනීමට කවිඳු ඉෂාන් සමත් වූයේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Colombo FC 03 (01) – 00 (00) Up Country Lions

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Colombo FC: සර්වාන් ජෝහාර් 02’, ශබීර් රසූනියා 53’, චමෝද් දිල්ෂාන් 80’
  • Up Country Lions: කවිඳු ඉෂාන් 89’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<