ශ්‍රී ලංකා කාන්තාවන් ඉන්දීය තරගයත් පරාජය වේ

284
ESPNcricinfo

ජුනි මස 24 වන දා සිට ජුලි මස 23 වන දා දක්වා එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පෙර පුහුණු තරගාවලියේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ අවසන් පෙර පුහුණු තරගය අද (21) ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟින් එංගලන්තයේ චෙස්ටර්ෆීල්ඩ් හිදී පැවැත්විය. එම තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 109ක ජයග්‍රහණයක් හිමි කර ගන්නා ලදි.

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් පසුබෑමක්!

ලබන ජුනි 24 වැනිදා ඇරඹීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන ..

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා කණ්ඩායම් නායිකා මිතාලි රාජ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 19යි එක් පන්දුවක් පමණක් වැය කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 92ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට ශ්‍රී නිවාස් මන්දහානා හා පුන්මා රවුට් සමත් විය. එහි දී තම අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී පළමු කඩුල්ල ලෙස මන්දහානා ලකුණු 44කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන ඉනෝකා රණවීර සමත් විය. පන්දු 58ක් තුල ගොඩනැංවූනු මන්දහානාගේ වර්ණවත් ඉනිමට 4 පහර 6ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හොඳින් පහර දෙමින් දෙවන කඩුල්ල සඳහා ද ලකුණු 49ක සබඳතාවයක් ගොඩනැංවීමට නායිකා මිතාලි හා පුන්මා රවුට් සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ලකුණක් හඹා යාමට අවශ්‍ය බව පසක් කර දෙමිනි. එහි දී දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවතට ගිය රවුට් පන්දු 79ක් තුල කාන්තා තරගයක දැක ගත හැකි හොඳ මට්ටමේ වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 69ක් රැස්කරගත්තාය. එම අගනා ඉනිමට 4 පහර 8ක් හා 6 පහර 2ක් අන්තර්ගත කිරීමට ඇයට හැකි විය. ලකුණු 151ක් වන විට කඩුලු 3ක් දැවී ගොස් තිබූ ඉන්දීය කණ්ඩායමට නව ජීවයක් ලබා දෙමින් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 61ක සබඳතාවයක් ගොඩනැගුනි. එහි දී අගනා කර්තව්‍යයක් ඉටු කළ මිතාලි පන්දු 89ක් තුල ලකුණු 85ක් රැස්කරගත්තේ 4 පහර 11ක් වාර්තා කරමිනි. ඇයව ක්‍රීඩාගාරයට හරවා යැවූ අමා කාංචනා විසින් පස්වන හා සයවන කඩුලු දවා ගැනීමට සමත් වූවාය. අවසානයේ ඉන්දීය මැදපෙළ පිතිකාරිනියන් වේගවත් පිතිකරණයක නිරත වෙමින් ඉන්දීය ඉනිමේ අවසන් පන්දු 22ක තුල ලකුණු 31ක් ලබාගෙන නියමිත පන්දුවාර 50  අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 275ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අමා කාංචනා ලකුණු 49ක් තුල කඩුලු 2ක් දවා ගන්නා විට, හර්ෂිතා මාධවී, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර හා ශසිකලා සිරිවර්ධන එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවාය.

ලකුණු 276ක තරගකාරී ලකුණක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ලලනාවන්ගේ ආරම්භක කඩුල්ල ලකුණු 6කට සීමා කරමින් ලකුණු 3ක් ලබාගෙන සිටි නිපුනි හංසිකා, ශිකා පාන්ඩේගේ පන්දුවකට දැවී යන ලදි. අනතුරුව පිටියේ එක් වූ හසිනි පෙරේරා හා වමත් පිතිකාරිනී චමරි අතපත්තු යන දෙපල එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 48ක සැලකිය යුතු මට්ටමේ සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර, එම සබඳතාවයට තිත තබමින් 4 පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබාගෙන හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ජයංගනී දුවද්දී දැවී යාමකට හසු විය.

එම දැවී යාමට මොහොතකට පසුව 4 පහර දෙකක් සමඟින් ලකුණු 23ක් ලබා ගෙන සිටි හසිනි ද, රාජේශ්වරීගේ සුපිරි පන්දුවකට දැවී යන ලදි.  ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 61ක් ලෙස දිස්විය. පන්දු 115කට මුහුණ දෙමින් ලකුණු 74ක සබඳතාවයක් සිව්වන කඩුල්ල සඳහා ගොඩනැංවීමට ප්‍රසාදිනී වීරක්කොඩි හා ඩිලානි සුරංගිකා සමත් වුවද, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දළ ලකුණු ලබා ගැනීමේ වේගය ද කෙමින් කෙමින් ඉහළ යන්නට පටන් ගැනුණි. ඉන්දීය පිතිකාරිනියන්ට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකාරිනියන් තරගයේ මුල සිටම ඉතාමත් මන්දගාමී පිතිකරණයක නිරත වෙමින්, තරගයේ පන්දුවාර 50 පමණක් ක්‍රීඩා කිරීමේ අදහසක සිටි අතර, තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය දළ ලකුණු ලබා ගැනීමේ වේගය කිසිදු මොහොතක අභිබවා ගියේ නැත.

ලකුණු 39ක් ලබාගෙන සිටි වීරක්කොඩිගේ දැවී යාමට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැංවීමට හැකි මට්ටමේ සබඳතාවයක් ගොඩනැංවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපොහොසත් වූ අතර, මැදපෙළ සවිමත් කරමින් සටන්කාමී පිතිකරණයක නිරත වූ සුරංගිකා පන්දු 83ක් තුල 4 පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලෙසින් දැක්විය. අවසානයේ අවසන් කඩුලු 3ක්ද ලකුණු 8ක් තුල බිඳ දැමූ දඟ පන්දු යවන රාජේශ්වරී ඇතුළු ඉන්දීය පන්දු බල ඇණිය තම කණ්ඩායම ලබා ගත් විශිෂ්ට ලකුණු 275 සාර්ථකව රැක ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රාජේශ්වරී ගයාකේවද් ලකුණු 12ක් තුල කඩුලු 4ක් දවා ගත් අතර, ඇයට සහය වුන පාන්ඩේ ලකුණු 22කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 275 (පන්දුවාර 50): මිතාලි රාජ් 85, පුන්මා රවුට් 69, ශ්‍රී නිවාස් මන්දහානා 44, අමා කාංචනා 2/49, ඕශධී රණසිංහ 1/42, හර්ෂිතා මාධවී 1/30,

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 48.4): ඩිලානි සුරංගිකා 49, ප්‍රසාදිනී වීරක්කොඩි 39, චමරි අතපත්තු 30, රාජේශ්වරී ගයාකේවද් 4/12, ශිකා පාන්ඩේ 2/22

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ලබන 24 වැනි දා නවසීලන්ත කණ්ඩායම කාන්තා කණ්ඩායම  හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<