රශ්මිකාගේ උත්සාහය අපතේ යයි

Women's Under-19 Tri-Nation in Australia 2024

32
Women's Under-19 Tri-Nation in Australia 2024

ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන් කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ අද (30) සමත් වුනා.

Alan Pettigrew Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 180ක් පමණක් වන අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

 

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, අශේනි තලගුණේ, රශ්මි නේත්‍රාංජලී, ප්‍රමුදි මෙත්සරා සහ චමෝදි ප්‍රබෝධා.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

 

Hasrat Gill (නායිකාව),  Ines Mckeon, Elizabeth Worthley, Samara Dulvin, Lily Bassingthwaighte, Ella Briscoe, Lucy Finn, Caoimhe Bray (කඩුලු රකින්නිය), Amy Hunter, Juliette Morton සහ Maggie Clark.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 29ක් වෙද්දී අහිමි වෙනවා. ඊට ගොදුරු වෙන්නේ සංජනා කාවින්දි (5) සහ හිරුණි හංසිකා (1)යි.

ඊට පසු කඩුල්ලේ දී ලකුණු 34ක සබඳතාවක් ගොඩ නැගීමට විමෝක්ෂා බාලසූරිය (15) සහ සුමුදු නිසංසලා (19) සමත් වෙනවා. නමුත් ඊට පසු ව පිටියට පිවිසි මනුදි නානායක්කාර (3), දැහැමි සනෙත්මා (12), අශේනි තලගුණේ (2), රශ්මි නේත්‍රාංජලී (0) සහ ප්‍රමුදි මෙත්සරා (0) අඩු ලකුණුවලට සීමා වුනා.

එසේ එක් අන්තයක් කුණාටුවකට හසුවූවාක් සේ කඩුලු පූජා කරද්දී අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසි දකුණත් පිතිකාරිනී රශ්මිකා සෙව්වන්දි අගනා අර්ධ ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණුවලින් පෝෂණය කළා. ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී ඇය පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා සිටියා.

එමෙන් ම ඇය අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි චමෝදි ප්‍රබෝධා සමඟ එක් වෙමින් ලකුණු 55ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වෙනවා. එහි දී රශ්මිකා සෙව්වන්දිට අනගි සහයෝගයක් ලබා දුන් චමෝදි ප්‍රබෝධා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී  Juliette Morton ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව පන්දු යවන්නියෝ 6 දෙනෙක් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ඉලක්කය පසු කරන්නේ තරගයේ තවත් පන්දු 134ක් ම ඉතිරි කර ගනිමිනුයි. ඔවුන් ආරම්භක කඩුල්ලේ සිට ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දැඩි පීඩනයක් එල්ල කළා.

ඉනිම ආරම්භ කළ Ines Mckeon සහ Elizabeth Worthley පළමු කඩුල්ලට ලකුණු 77ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Ines Mckeon පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ද සහ Elizabeth Worthley පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගන්නවා.

අනතුරු ව පිටියේ රැදී සිටි Samara Dulvin සහ නායිකා Hasrat Gill එක් ව 3 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 85ක සබඳතාවක් එක් කරනවා. එහි දී Samara Dulvin පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද සහ Hasrat Gill පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමුදි මෙත්සරා සහ අශේනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත් අතර පන්දු යැවීමේ නිරත වූ අනෙක් පන්දු යවන්නියෝ 5 දෙනාට ම කඩුලු දවා ගැනීමට අවස්ථාවක් උදා වුණේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 180 (39.2) සුමුදු නිසංසලා 19, රශ්මිකා සෙව්වන්දි නොදැවී 56, චමෝදි ප්‍රබෝධා 18, Juliette Morton 3/38

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 2ක් දැවී 181 (27.4) Ines Mckeon 45, Elizabeth Worthley 32, Samara Dulvin නොදැවී 60, Hasrat Gill නොදැවී 33,

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

ශ්‍රී ලංකා සහභාගී වන මීළඟ තරගය නවසීලන්තය සමඟ ඔක්තෝබර් 01 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ තුන් කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<