චමරි සහ ඩිලානි අර්ධ ශතක ලබා ගනී

102

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (26) දින පැවති තරග වලදී දඹුල්ල කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ කොළඹ කණ්ඩායමේ ඩිලානි මනෝදරා අර්ධ ශතක වාර්තා කරමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවන් බවට පත්වූහ

හර්ෂිතා තරගාවලියේ මංගල අර්ධ ශතකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද…

මෙම තරග කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

දඹුල්ල සහ කොළඹ අතර තරගය 

පෙරවරුවේ පැවති මෙම තරගයෙන් ලකුණු 46ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුල්ල ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිටියේ විනිසුරුවරුන් වූ චාමර ද සොයිසා සහ දේදුණු ද සිල්වාගේ තීරණය වූයේ තරගය පන්දුවාර 19කට සීමාවන බවයි. 

ඒ අනුව උරගා බැලුන කාසියේ වාසිය දිනාගත් දඹුලු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 3ක් දැවී ලකුණු 182ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136ක් පමණි. 

>>Photos: Dambulla vs Colombo | Women’s T20 Super Provincial Tournament 2019/20<<

දඹුල්ල වෙනුවෙන් දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට නායිකා චමරි අතපත්තු සමත් වීම කැපී පෙනුනි. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තාය. දඹුල්ල ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් ලෙසින් පිටියට පිවිසි චමරි අතපත්තු සහ ප්‍රසාදිනී වීරක්කොඩි අතර පළමු කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක්වූහ. ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තාය. 

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ චමරි අතපත්තු සහ හංසිමා කරුණාරත්න ද ලකුණු 58ක සබඳතාවක් තම කණ්ඩායම වෙනුවෙන් එක් කළහ. එහිදී හංසිමා කරුණාරත්න පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තාය. 

දඹුල්ල ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන එක්ව රැස්කළ ලකුණු 66යි. ශෂිකලා සිරිවර්ධන පන්දු 21ක දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තාය. කොළඹ ඉනිම වෙනුවෙන් ෂෙරිනා රවිකුමාර් සහ ඕෂදී රණසිංහ කඩුල්ල බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩි කාර්ය භාරයක් කළේ ඩිලානි මනෝදරා ය. ඇය පන්දුවක් වැදී පිටියෙන් ඉවත් වනවිට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියාය. ඊට අමතරව අමා කාංචනා පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තාය. 

පන්දු යැවීමේ දී චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන සහ සුගන්ධිකා කුමාරි කඩුලු 2 බැගින් දවා ගත්හ. 

Team දඹුල්ල : කඩුලු 3ක් දැවී 182 (19) චමරි අතපත්තු 95, ප්‍රසාදිනී වීරක්කොඩි 27, හංසිමා කරුණාරත්න 22, ශෂිකලා සිරිවර්ධන නොදැවී 30. 

Team කොළඹ : සියලු දෙනා දැවී 136 (18.4) ඩිලානි මනෝදරා 52, අමා කාංචනා 30, චමරි අතපත්තු 2/17, ශෂිකලා සිරිවර්ධන 2/24, සුගන්ධිකා කුමාරි 2/25. 

චමරි අතපත්තු හදිසියේම ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස නායිකා චමරි අතපත්තු, 2019 ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑශ්…

මහනුවර සහ ගාල්ල අතර තරගය 

පස්වරුවේ පැවති මෙම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය ගණනය කිරීම අනුව තීරණය වූයේ ලකුණු සමවූ තරගයක් ලෙසිනි. 

කාසියේ වාසිය දිනාගත් මහනුවර නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩිකාවන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 78ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ක්‍රිශාන්ති සඳමාලි ය. ඇය පන්දු 20කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් රැස්කර ගත්තාය. 

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ සචිනි නිසංසලා ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තාය. ඊට අමතරව පිට දඟපන්දු යැවූ උමේෂා තිමේෂනී ලකුණු 14කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩිකාවන්ට පන්දුවට පහර දීමට හැකි වූයේ පන්දුවාර 17කුත් පන්දු 3ක් පමණි. ඒ වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවූ නිසාය. ඒ වනවිට එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ අර්ධ ශතකයක් වාර්තා කළ නායිකා හර්ෂිතා මාධවී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියාය. 

එම ඉනිමේ කඩුලු 3ක් ලකුණු 06කට දවා ගැනීමට දකුණතින් පිට දඟපන්දු යැවූ මල්ෂා ෂෙහානි සමත් වූවාය. 

වර්ෂාවෙන් අනතුරුව පිටියේ විනිසුරුවරුන් වූ නිමාලි පෙරේරා සහ චන්ද්‍රික අමරසිංහ අවස්ථා කිහිපයක දී තරගය නැවත ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් එළඹ ඇත්දැයි විනිශ්චය කළ ද එවැනි අවස්ථාවක් ලැබුනේ නැත. ඒ අනුව තරගයේ විනිශ්චය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ගණනය කෙරුනු අතර එහිදී එම පත්‍රිකාවේ සටහන් වූයේ මහනුවර ක්‍රීඩිකාවන් ජයග්‍රහණය සඳහා ලකුණු 68ක් ලබාගත යුතු බවයි. 

පළාත් කාන්තා මංගල දිනය අවාසනාවන්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ මංගල දිනය…

Team ගාල්ල : සියලු දෙනා දැවී 78 (19.4) ක්‍රිශාන්ති සඳමාලි 18, අනුෂ්කා සංජීවනී 15, සචිනි නිසංසලා 4/13, උමේෂා තිමේෂනී 2/14. 

Team මහනුවර : කඩුලු 7ක් දැවී 67 (17.3) හර්ෂිතා මාධවී 44, මල්ෂා ෂෙහානි 3/06. 

මෙවර අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් හෙට (27) දින මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<