චමරි සහ ශෂිකලා එකම කණ්ඩායමකට

කාන්තා විස්සයි විස්ස අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය 2020

217

IPL තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ නොවැම්බර් මස 04 වනදා සිට 09 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙනු ඇත. 

කණ්ඩායම් තුනක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම සෑම කණ්ඩායමක්ම සමඟින් තරග වදිනු ලබන අතර අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙම තරගාවලිය සඳහා දක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන සහභාගී වීමට නියමිත අතර මෙවර ඔවුන් දෙදෙනා  පසුගිය වසරේ ශූරතාවය දිනාගත් Supernovas කණ්ඩායම නියෝජනය කිරීම කැපී පෙනේ. මෙවර තරගාවලියේ එක් සංචිතයකට විදෙස් ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ඇතුළත් කිරීමට හැකිය. 

පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු Supernovas කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළාය. සිරිවර්ධන මෙවැනි ආකාරයක ක්‍රිකට් තරගාවලියක් සඳහා තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් පසුව මුහුණ දෙන පළමු තරගාවලිය ද මෙය වෙනු ඇත. 

තරගාවලිය සඳහා සහභාගී වන සෑම ක්‍රීඩිකාවක් මෙන්ම සෑම පුහුණුකරුවෙක්ම ඔක්තෝබර් මස අවසාන සතියේ දී ඩුබායි නුවරට පැමිණ දින 6ක නිරෝධායන කාලයක් ගත කළ යුතු අතර ඒ අතරතුර ඔවුන් PCR පරීක්ෂණ තුනක් සඳහා මුහුණ දීමට නියමිත බව ද බව වාර්තා වේ. එම PCR පරීක්ෂණ තුනේම ප්‍රතිඵල සාමාන්‍ය නම් එතැන් සිට ඔවුන්ට සිය පුහුණුවීම් ආරම්භ කිරීමට අවස්ථාව ලැබේ. 

තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 04 වැනිදා Supernovas සහ Velocity යන කණ්ඩායම් අතර පැවැත්වෙන අතර අනෙක් තරග 05 වැනිදා සහ 07 වැනිදා පැවැත්වේ. එසේම තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 09 වැනිදා පැවැත්වේ. කෙසේ නමුත් තරග පැවැත්වෙන ස්ථානය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැත. 

2008 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නමුත් එම තරගාවලියට සාපේක්ෂව පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සිදුවන්නේ 2018 වසරේ දීයි. 

සංචිතයන්: 

Supernovas: හර්මන්ප්‍රීත් කෞර් (නායිකාව), ජෙමීමා රොද්‍රිගුස්, චමරි අතපතු, ශෂිකලා සිරිවර්ධන, ප්‍රියා පූනියා, අනුජා පටිල්, රාධා යාදව්, ටානියා භාතිය (කඩුලු රකින්නිය), පූනම් යාදව්, ශකරා සෙල්මන්, අරුන්දතී රෙඩ්ඩි, පූජා වස්රාබ් , මුස්කන් මලික්. 

Trailblazers: ස්මර්ති මන්දනා (නායිකාව), දීප්ති ෂර්මා, පූනම් රවුට්, රිචා ගෝෂ්, ඩී. හේමලතා, නුෂාට් පර්වින් (කඩුලු රකින්නිය), රාජේශ්වරී ගයාක්වාඩ්, හාර්ලීන් ඩියොල්, ජුලාන් ගෝස්වාමි, සිමරන් දිල් බහදූර්, සල්මා ඛාතුන්, සොෆී එක්ලෙස්ටෝන්, නත්තකාන් චන්තම්, දේන්ද්‍රා ඩොටින්, කශ්වී ගෞතම්. 

Velocity: මිතාලියා රාජ් (නායිකාව), වේදා ක්‍රිෂ්නමූර්ති, ශෆාලි වර්මා, සුෂ්මා වර්මා (කඩුලු රකින්නිය), එක්ටා බිෂ්ට්, මන්සි ජෝෂි, ශිඛා පාණ්ඩේ, දේවිකා වෛද්‍ය, සුෂ්රි ඩිබියදර්ශනී, මනාලි දක්ෂිණි, ලී කැස්පෙරෙක්, ඩැනියෙල් වයිට්, සුනේ ලූස්, ජහනාරා අලාම්, එම්. අන්ගහා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<