කොළඹ සිට මහනුවරින් වැඩ පෙන්වා නේපාලයට ගිය “හර්ෂිතා”

111

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වූයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මතු බලාපොරොත්තු රාශියක් ඇති කරමින්. එහි දී කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත් වීමට 21 හැවිරිදි වමත් පිතිකාරිනී හර්ෂිතා මාධවී සමත් වෙනවා.

හංසිමා, හෂිනි සහ හර්ෂිතා අර්ධ ශතක රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද ( 27)…

මෙම සටහන් ඔබ කියනව විට හර්ෂිතා සිටිනුයේ නේපාලයේ. ඒ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා නායිකාව ලෙසින් සහභාගී වෙමින්. ළාබාල හර්ෂිතාට මේ ලැබී ඇත්තේ මහඟු අවස්ථාවක්. ඇතැම් විට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමට සුදුසුකම් ලැබූ ළාබාලතම ක්‍රීඩිකාව ද වන්නේ හර්ෂිතා විය හැකියි. දකුණු ආසියානු තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහභාගී වන කණ්ඩායම්වල ළාබාලතම නායිකාව වන්නේ ද හර්ෂිතා. 

ඇයට මේ අවස්ථාව හිමිවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ නිමා වූ අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායමේ නායිකාව ලෙසින් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම මනා ලෙස ඉටු කිරීමත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් දක්ෂතා දැක්වීම හේතුවෙන්. හර්ෂිතා මහනුවර කණ්ඩායමේ නායිකාව වූවද ඇයගේ උපන් ගම වන්නේ හද්දා කොළඹ යනුවෙන් හඳුන්වන කොළඹ 8යි. 

ඇය මෙම තරගාවලියට එක් වෙන්නේ ද තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් 4 අතරින් ළාබාලතම නායිකාව ලෙසින්. ඇය එහි පළමු වටයේ තරග ත්‍රිත්වයකට සහභාගී වෙමින් ඉනිම 3ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 162ක් ලබා ගත්තා.  

එම තරගාවලියේ දී හර්ෂිතාට තරගාවලියේ මංගල අර්ධ ශතකය මෙන්ම අර්ධ ශතක දෙකක් ලබා ගත් එකම ක්‍රීඩිකාව ලෙසින් ද ගෞරවය හිමිකර ගත්තා. ඇය පළමු අර්ධ ශතකය වාර්තා කරන්නේ තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ ප්‍රබල දඹුල්ල කණ්ඩායමට එරෙහිවයි.

හර්ෂිතාගේ මෙම ඉනිම හේතුවෙන් දඹුල්ල ක්‍රීඩිකාවෝ තරගාවලියේ අවසන් මහා ජයග්‍රහණය කරමින් තරගාවලිය ජය ගත්ත ද තරගාවලිය ඇරඹුවේ පරාජිත කණ්ඩායමක් ලෙසින් වීම කැපී පෙනුණා. හර්ෂිතා තරගාවලියේ මංගල අර්ධ ශතකය රැස් කිරීම වෙනුවෙන් වැය කරන්නේ පන්දු 46ක් පමණක් වීම කැපී පෙනුණා. නොදැවී ලකුණු 66ක් වූ එම ඉනිමට අතුලත් වූ හතරේ පහර සංඛ්‍යාව 9ක්. 

තරගාවලියේ දෙවැනි තරගය සඳහා හර්ෂිතාගේ කණ්ඩායමට හමුවෙන්නේ ගාල්ල ක්‍රීඩිකාවෝ. එම තරගයේ දී හර්ෂිතා ලකුණු 44ක් ලබා ගත්තා. එම තරගය ලකුණු සම වූ තරගයක් ලෙසින් අවසන් වීමත් කොළඹ ක්‍රීඩිකාවන්ගේ තරගයක් නොපැවැත්වීමත් ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. කෙසේ වෙතත් හර්ෂිතා තමන් මුහුණ දුන් තෙවැනි තරගය වූ කොළඹ කණ්ඩායම සමඟ පැවති තරගයේ දී තම දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූනා. එහි දී ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. 

මේ දක්ෂතාවත් සමඟින් හර්ෂිතා නිමා වූ අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස තරගාවලිය නිමා වන විට තරගයක සාමාන්‍ය 81.00ක් ලබා සිටියා.

හර්ෂිතා මෙම තරගාවලියට එක්වීමට පෙර ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ද නායිකාව ලෙසින් කටයුතු කිරීමට භාග්‍ය ලැබුවා. එහි දී ඇය තම කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන ඒමට සමත් වූ අතර එහි දී අනුශූරතාව තම මව්බිමට ලබා දීමට සමත් වුනා. 

හර්ෂිතා තරගාවලියේ මංගල අර්ධ ශතකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (25)….

එහි දී ඇය අවසන් මහා තරගයේ දී ලකුණු 39ක් ද, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 53ක් ද සහ පළමු වටයේ ඉන්දියාව සමඟ තරගයේ දී පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. එම තරගාවලියේ දී ඇය ලබා ගත් ලකුණු ප්‍රමාණය ඉනිම් 3ක දී ලකුණු 147ක්. එහි ඇයගේ දක්ෂතාව තරගයට සාමාන්‍ය 49.00ක්. 

මෙම දක්ෂතාව තරගාවලියේ පෞද්ගලික ලකුණු ලැයිස්තුවේ පළමුවැනියා වීමටත් තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය වීමටත් ඇයට වාසනාව ගෙන එනවා.  

හර්ෂිතා ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දක්ෂතා හේතුවෙන්ම ඉතා ළාබාල අවධියේම ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමට සමත් වෙනවා. ඇය පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගන්නේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී වීම විශේෂයි. ඒ ඉන්දියාවේ, මොහාලි පිටියේ දී 2016 මාර්තු මස 20 වැනිදා පැවති අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගයේ දී. නමුත් එම තරගය හර්ෂිතාට කොහෙත්තම වාසනාවන්ත වූයේ නැහැ. ඇයට එම තරගයේ දී මුහුණ දීමට සිදු වූයේ පන්දු 4කට පමණි. කිසිදු ලකුණක් ඇය ඉදිරියේ සටහන වූයේ නැහැ. 

මේ වෙද්දී ඇය විස්සයි විස්ස තරග 9ක ඉනිම් 9කට සහභාගී වෙමින් එක් ඉනිමක නොදැවී සිටිමින් ලබා සිටින ලකුණු ප්‍රමාණය 78ක්. 

විස්සයි විස්ස වරම් දිනා ගත් හර්ෂිතා ඊට හරියට ම මාස 6කට පසුව එළඹි සැප්තැම්බර් මස 20 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නවා. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 18ක් පසු වුණා පමණයි. 

එම තරගයේ දී ඇයට ලබා ගත හැකි වෙන්නේ එක් ලකුණක් පමණයි. එසේ ඇරඹි එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ඇය මේ වෙද්දී තරග 13කට සහභාගී වෙමින් ලබා සිටින ලකුණු ප්‍රමාණය 253ක්. ජාත්‍යන්තර එක්දින තරග පිටියේ ඇයගේ ආරම්භය එතරම්ම සාර්ථක නොවූවත් ඇය සහභාගී වූ අවසන් ඉනිම් 5 දී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් ව සිටිනවා. එහි තරගයක සාමාන්‍ය වන්නේ 33.8ක්.

එම ඉනිම් 5 අතර ඇයගේ හොඳම පෞද්ගලික ඉනිම ද ඇතුළත් වෙනවා. ඒ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී පන්දු 46ක දී ලබා ගත් ලකුණු 42යි. හර්ෂිතාගේ මෙම දත්තයන් ද එකතුව පළමුපෙළ තරග පිටියේ අවසන් ඉනිම් 10ක දී වාර්තා වන්නේ ලකුණු 277ක්. එහි දත්තයන් නම් බැලූ බැල්මට ම දුර්වලය. 

නමුත් හර්ෂිතා මාධවී මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අඹරේ පායන දීප්තිමත් තාරකාවක් බවට පත්ව සිටියි. කණ්ඩායමේ සිටින දක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතරට එක්කර ඇති හර්ෂිතාගේ නාමය ද බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාවන්ගේ ගොන්නේ ඇත. ඇය ඊට සාධාරණයක් ඉටු කරන්නේ මෙවර නිමා වූ අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් සහ පසුගිය වසරේ පැවති මෙම තරගාවලියේ දී දක්ෂතම පිතිකාරිනිය සම්මානය ද දිනා ගැනීමෙන්.  

මෙවැනි දක්ෂතා රැසකින් සමන්විත හර්ෂිතාගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ 2012/13 වසරේ ක්‍රිකට් තරග සමයේ කොළඹ ගෝතමී විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමෙන්. ඒ වෙද්දී හර්ෂිතාට යන්තම් වයස අවුරුදු 14ක් වූවා පමණයි. මේ කුඩා කෙල්ලක්, ලොකු කෙල්ලන් සමඟ කුමනාකාරයේ ක්‍රීඩාවක නියුතු වේ දැයි ඇතැමුන් සිතද්දී හර්ෂිතා තම දක්ෂතා නිදහසේ මුදා හැරියා. ඇයට තමන් සමග ක්‍රීඩා කරන අය කවරෙක් ද හෝ ඒ පිරිස ලොකු ද පොඩි ද යන ප්‍රශ්නයක් ද පැන නැගුණේ නැහැ. ඇය නිරතුරුව උත්සාහ කළේ තමන්ගේ දක්ෂතාවලට වැඩි ඉඩක් ලබා ගැනීමයි. 

හර්ෂිතා තමන් මුහුණ දුන් පළමු බාලිකා විස්සයි විස්ස තරගාවලියේ දී තරග 3කට මුහුණ දෙමින් ලකුණු 190ක් ලබා ගත්තා. එම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ බාලිකා විස්සයි විස්ස තරගාවලියේ  වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව ලෙසින් එම වසරේ ඉහළින්ම සටහන් වුනා. එම තරගාවලියත් සමඟ හර්ෂිතාගේ නම බාලිකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ මතුව එන චරිතයක් බවට පත් වුනා. 

ශෂිකලා දඹුල්ලට ගොස් කොළඹ පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්…

ඉන් අනතුරුව වසරේ දී වයස අවුරුදු 17න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කරන හර්ෂිතා එවර ද ඉලක්කම් තුනේ ලකුණු එකතුවක් ලබා ගන්නවා. 200කට ආසන්න වූ එම ලකුණු ප්‍රමාණය එවර තරගාවලියේ ද වැඩිම ලකුණු ලාභිනිය වීමට ඇයට වාසනාව උදා කරනවා. 

මෙම දක්ෂතා හේතුවෙන් ඇයට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් බාලිකා අන්තර් පළාත් සීමිත පන්දුවාර තරගාවලියට සහභාගී වීමේ වරම් ද හිමි වෙනවා. 

ඇයගේ මේ දක්ෂතා හේතුවෙන්ම නුගේගොඩ අනුලා විද්‍යාලයට එක් වීමට ඇයට අවස්ථාවක් උදා වෙනවා. කොළඹ ගෝතමියට වඩා අනුලාවේ ක්‍රිකට් ක්‍රීඩාව යම් මට්ටමකින් ඉහළින් පැවතීම හේතුවෙන් හර්ෂිතා අනුලාවට පිවිසෙනවා. ඊට තවත් හේතුවක් හර්ෂිතාට තිබුණා. ඒ අනුලා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වාර්ෂික මහා ක්‍රිකට් තරගයකට ද සහභාගී වීමයි. හර්ෂිතා 2018 වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් Dialog 4G සම්මානය දිනා ගන්නවා. 

පාසල් වයසේ දී ම කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙන හර්ෂිතා, මේ වන විට වසර ගණනාවක් ම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය පළමු පෙළ තරග නියෝජනය කරනවා. 

ක්‍රිකට් ක්‍රීඩාව තම ආත්මය කර ගත් හර්ෂිතා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ අනාගතය ඉලක්ක කර ගත් ක්‍රීඩිකාවක් ලෙසින් ද හැඳින්වෙනවා. පිතිකාරිනියක් ලෙසින් මේ වන විට ද ක්‍රීඩා පිටියේ පෑ දක්ෂතා එය මනාව සඵත කොට තිබෙනවා. 

ඇයගේ ක්‍රිකට් දිවියට ThePapare.com වෙතින් සුබ පැතුම්.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<