මල්ෂාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් කුළුඳුල් Super 4 කුසලානය Redsට!

908
Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුල් වරට පවත්වන්නට යෙදුණු කාන්තා Super 4 ක්‍රිකට් තරගාවලිය අද (25) කොළඹ BRC පිටියේ දී නිමාවට පත් වුනා.

ඒ නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුතු Reds කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්. ඔවුන් හමුවේ ලකුණු 53කින් පරාජය ලැබුවේ මේ දක්වා අපරාජිතව සිටි හර්ෂිතා සමරවික්‍රම විසින් මෙහෙයවනු ලබන Greys කණ්ඩායමයි.

අද කාසියේ වාසියට හිමිකම් කියූ Reds මුලින් පිතිකරණයේ යෙදීම අවස්ථාව තමන් වෙත නතුකර ගත්තා. කෙසේ වෙතත් ඔවුන්ට අද පන්දුවාර 42ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 150ක් පමණයි.

ඒ වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 37කින් දායකත්වය ලබා දුන්නේ පන්දු 48කට මුහුණ දෙමින්. ඒ අතරේ ඇය හතරේ පහර 4ක් එල්ල කළා. නායිකා නිලක්ෂි ද සිල්වා ලකුණු 35ක් ලබා ගැනීම වෙනුවෙන් පන්දු 56ක් වැය කරන අතරතුරේ හතරේ පහර 3ක් එල්ල කිරීමට සමත් වුනා.

මෑතක දී නිමාවට පත්වූ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනුණු යොවුන් ක්‍රීඩිකාවක් වන මල්ෂා ශෙහානි ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු 29ක් ලබා ගත්තේ පන්දු 27කට මුහුණ දෙමිනුයි. ස්වකීය ඉනිම තුල ඇය හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ද එල්ල කළා. එය අවසන් තරගය පුරාවටම එල්ල වුනු එකම හයේ පහරයි!

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සඳනි තිවංකා සුපිරි පන්දු යැවීමක යෙදෙමින් කඩුලු 4ක් බිඳ හෙලුවේ ලකුණු 31ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි. අත්දැකීම් බහුල පන්දු යවන්නියක් වන ඉනෝකා රණවීර ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

Super 4 තරගාවලියේ අඩු ලකුණු වාර්තා වූ බොහොමයක් දැක ගන්නට ලැබුණ ද, රිද්මයේ සිටින පිතිකාරිනියන් කිහිප දෙනෙක් අඩංගු Greysට ලකුණු 151ක ඉලක්කය අපහසු නොවනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කළේ. නමුත් මුල සිටම පහසු ලකුණු ලබා නොදෙමින් Reds පන්දු යවන්නියෝ ග්‍රහණය දැඩි කළේ අවසන් තරගයක පීඩනය අපරාජිත Greysට දැනෙන්නට ඉඩ හරිමිනුයි.

එහි දී ඉනිම ඇරඹූ ඉමල්කා මෙන්ඩිස් ලකුණු 2කට දැවී යද්දී අනෙක් අන්තයේ සිටි ශිකාරි ද සිල්වා පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 11ක් පමණක් ලබා සිටිය දී දුවද්දී දැවී ගියා. Reds නැවතත් සම්පූර්ණයෙන්ම තරගයට අවතීර්ණ කිරීමට අවශ්‍ය වන තීරණාත්මක කඩුල්ල මල්ෂා ශෙහානි බිඳ දැම්මේ ආසියානු කුසලානයේ සිටම ලකුණු අතර සිටි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 19කට දවාලමින්. පන්දු 27කට මුහුණ දුන් හර්ෂිතා හතරේ පහර 3ක් එල්ල කළා.

Photos – Reds vs Greys – Women’s Super Four 50 Over Tournament 2022 | Final

මීට අමතරව Greys වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණක් රැස් කිරීමට හැකි වුනේ කෞශානි නුත්‍යාංගනාට පමණයි. ඇය පන්දු 33ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. Greys ඉනිමේ අවසන් කඩුලු 5ම ලකුණු 19ක් තුල බිඳ වැටීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන මල්ෂා ශෙහානි අද Greys ඉනිම සුනුවිසුනු කළේ ලකුණු 23කට කඩුලු 5ක් දවා ගනිමිනුයි. මීට අමතරව තාරිකා සෙව්වන්දි කඩුලු 2කට හිමිකම් කීවා. ඒ අනුව පන්දුවාර 34.1ක් තුල දී Greys ඉනිම ලකුණු 97කට නිමාව දුටුවේ Reds කණ්ඩායමට ලකුණු 53ක ජයක් හිමිකර දෙමිනුයි.

මේ අනුව කුළුඳුල් කාන්තා Super 4 තරගාවලිය ජය ගත් නිලක්ෂි ද සිල්වා ප්‍රමුඛ Reds කණ්ඩායමට ශූරතා කුසලානය සමඟ මුදලින් ලක්ෂ 7.5ක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<