2015/16 තරග වාරයේ සාර්ථකත්වයෙන් 2016/17 තරග වාරයේ වැඩ පෙන්වීමට සැරසෙන ශා. ඇලෝසියස් ක්‍රිකට් කණ්ඩායමට මේ වන විට ඒ සඳහා අවශ්‍ය පසුබිමද මනාව සකස් වී ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වංශ කතාවේ කලු අශ්වයෝ – ලුම්බිණි විද්‍යාලය

ඉතිහාසයෙන් බිඳක්.

1985 වසරේදී මෙරට සුවහසක් දරුවන්ගේ නැණ නුවණ පෑදීමට ආරම්භ කල ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය මේ වන විට 4000කට අධික සිසු පිරිසකට සිප් සතර බෙදන තාක්ෂලාවක් බවට පත්ව තිබේ. පාසල ආරම්භයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව විදුහලේ කොටසක් බවට පත්ව තිබුනද පාසල් තරග බිමේදී කොළඹ ප්‍රධාන පාසල් හමුවේ කිහිප වරක්ම පසු බැසීමට ඔවුන්ට සිදුවිය.

කෙසේවෙතත් පසුගිය 2015/16 තරග වාරය ශා. ඇලෝසියස් ක්‍රීඩකයන්ට ස්වර්ණමය වසරක් බවට පත්විය. T20 තරගාවලියේදී ඉසිපතන, ශා. තෝමස් සහ ත්‍රිත්ව වැනි ප්‍රබල පාසල් රැසක් පරාජය කල ඔවුන් 19න් පහල ලීග් තරගාවලියේදී අවසන් කණ්ඩායම් 16 අතරටද සුදුසුකම් ලබන්නට සමත් විය. එමෙන්ම 2015/16 තරග වාරයේ විනය ගරුකම කණ්ඩායම ලෙසින් තේරී පත්වුනේද ශා. ඇලෝසියස් කණ්ඩායමයි.

2016/17 තරග සමය:

මෙවර තරග වාරයේදී ශා. ඇලෝසියස් විද්‍යාලය තරග වදින්නේ C කාණ්ඩයෙන්. එම කාණ්ඩයට ගල්කිස්ස ශා. තෝමස්, ගුරුකුල, ඩී. එස්. සේනානායක, ධර්මාශෝක, සහිරා, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, මොරටු විද්‍යාලය සහ ශා. සිල්වෙස්තර වැනි ප්‍රබල පාසල් රැසක කණ්ඩායම් ඇතුලත් වේ. ඒ අතුරින් කණ්ඩායම් දෙකක් පමණක් ඉදිරි වටයට සුදුසුකම් ලැබීම හේතුවෙන් ශා. ඇලෝසියස් විද්‍යාලයට මෙවරද ප්‍රබල සටනක් දීමට සිදුවනු ඇත.

මෙම තරග වාරය ආරම්භයේදී සිය සාම්ප්‍රදායික තරග දෙකකට සහභාගීවූ ශා. ඇලෝසියස් කණ්ඩායම එහිදී සිරි කුරුස විද්‍යාලය කඩුලු 8කින් පරාජය කල අතර දෙවන තරගයේදී ශා. පීතර කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ  ලැබීය. මෙම පරාජයෙන් උගත් පාඩම් ද උපයෝගී කර ගනිමින් මෙම තරග වාරයේ ඉදිරි තරග ක්‍රීඩා කරමින් ඉදිරි වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ඔවුන්ගේ අවධානය යොමු වනු ඇති.

ප්‍රධාන ක්‍රීඩකයන්:

කණ්ඩායමේ නායක සහ 6වන වසරේ ක්‍රීඩක නවිඳු නිර්මාල් මෙම තරග වාරයේ ශා. ඇලෝසියස් විද්‍යාලය සතු ප්‍රධානතම තුරුම්පුවක් වන්නේ ඔහු 19න් පහල ජාතික කණ්ඩායමේ මෙන්ම ක්‍රීඩා සමාජ තරග අත්දැකීම් වලින්ද සන්නද්ධ ක්‍රීඩකයෙක් වීම හේතුවෙනුයි.

5 වන වසරේ ක්‍රීඩක අශේන් බණ්ඩාරද ජාතික තලයේ අත්දැකීම් ලබා ඇති අතර පසුගිය තරග වාරයේ ඔහු ශතක 3ක් සමග ලකුණු 936ක් ලබා ගැනීමට සමත් විය. එබැවින් මෙවර තරග වාරයේදී ශා. ඇලෝසියස් මැද පෙළ සවිමත් කිරීම ඔහුගේ ප්‍රධානතම වගකීම බවට පත්ව තිබේ.

සිව්වන වසරේ ක්‍රීඩක රවිඳු සංජන ආරම්භක පිතිකරුවෙක් ලෙස පසුගිය තරග වාරයේ ලබාගත් ලකුණු 678ට අමතරව කඩුලු 12ක් ද බිඳ හෙලූ අතර මෙවරද තම තුන් ඉරියව් දස්කම් කණ්ඩායමට සවියක් බවට පත් කිරීමේ අරමුණින් ඔහු කණ්ඩායමට එක්වෙයි.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක හරීන් බුද්ධිල තෙවන වසරේ ක්‍රීඩකයෙක් වන අතර ඔහු පසුගිය තරග වාරයේදී කඩුලු 65ක් බිඳ හෙළන්නට සමත් විය. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබූ ඔහු මෙවර ශා. ඇලෝසියස් කණ්ඩායමට තවත් ඉහල දායකත්වයක් ලබා දෙනු ඇති.

Photo Album: St.Aloysius’ College Cricket Team Preview 2016/17

පුහුණුකරුවන්.

ශා. ඇලෝසියස් ආදී ශිෂ්‍යයෙක් වන මාලක ද සිල්වා මෙවරද ශා. ඇලෝසියස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර පසුගිය වසරේ දස්කම් තවත් වර්ධනය කිරීමට ඔහුගේ අවධානය යොමුවී ඇත. වසර ගණනාවක අත්දැකීම් මෙන්ම මෙම ක්‍රීඩකයන් සමග වසර කිහිපයක් ගත කිරීමෙන් ලද අත්දැකීම්ද මාලක තම කණ්ඩායම ඉදිරියට ගෙන යාම සඳහා උපයෝගී කරගනු ඇති. ජගත් සමරසිංහ මෙවරද කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරයි.

සාරාංශය

ශ්‍රී ලංකා ජාතික 19න් පහල කණ්ඩායමේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් දෙපලක් වන නවිඳු නිර්මාල්ගේ සහ අශේන් බණ්ඩාරගේ මග පෙන්වීම ශා. ඇලෝසියස් විද්‍යාලයට වඩාත් ශක්තිමත් කණ්ඩායමක් බවට පත් වීමට අවශ්‍ය මානසික සවිය සපයද්දී ඔවුන්ගේ දස්කම් වලට අමතරව රවිඳු සංජනගේ තුන් ඉරියව් දස්කම් සහ හරීන් බුද්ධිලගේ දඟ පන්දුවේ සවියද ප්‍රයෝජනයට ගනිමින් පසුගිය තරග වාරය නැවතූ තැනින් තවත් ඉදිරියට යන්නට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට මෙවර තරග වාරයේදී වඩාත් ඉහල අවස්තාවක් හිමිව තිබේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට