විස්ඩන් තරුණ ටෙස්ට් කණ්ඩායමට ඔබ නොසිතන ශ්‍රී ලාංකිකයෙක්

756

පසුගිය දා, ලොව සුප්‍රකට ක්‍රීඩා සඟරාවක් වන විස්ඩන් විසින් අවුරුදු 25ට අඩු යොවුන් ලෝක ටෙස්ට් කණ්ඩායමක් නම් කර තිබුණි. වර්තමාන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රබල දස්කම් දක්වන තරුණ ක්‍රීඩකයන් රැසක් සිටින අතර ඉන් කැපී පෙනෙන දක්ෂතා දක්වන ක්‍රීඩකයන් 11 දෙනෙකු විස්ඩන් සඟරාව විසින් මෙම කණ්ඩායම සඳහා ඇතුළත් කර තිබුණි.

නිරෝධායන නීති කැඩූ ආචර්ට සමාජ මාධ්‍යවලිනුත් හිරිහැර

මෙම කණ්ඩායම සඳහා එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට පමණක් අවස්ථාව හිමිව තිබුණු අතර ඇතැම් විට ඔහු ඔබ නොසිතන ක්‍රීඩකයෙකු වන්නට පුළුවන්. ඔහු කුසල් මෙන්ඩිස්.

ක්‍රිකට් ලෝකයේ බයිබලය ලෙස විරුදාවලිය ලත් විස්ඩන් සඟරාව පසුගිය කාලය තුල අවස්ථා කීපයක දී ම ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයන්ගෙන් යුත් කණ්ඩායම් කීපයක් නම් කර තිබුණි. එයට සියවසේ ටෙස්ට් කණ්ඩායම, එක්දින කණ්ඩායම මෙන්ම විස්සයි විස්ස කණ්ඩායම ද ඇතුළත් විය.

මෙම කණ්ඩායම තෝරාගැනීම සඳහා එහි අන්තර්ගත ප්‍රධානී යස් රානා, කළමනාකාර කර්තෘ බෙන් ගාඩ්නර් සහ විශේෂාංග සංස්කාරක ටහා හෂීම් එක්ව සිටියා. 2020 ජූලි 17 වැනිදාට වයස අවුරුදු 25 හෝ ඊට අඩු ක්‍රීඩකයන් මේ සඳහා සලකා බලා ඇත.

මෙම කණ්ඩායමේ නායකත්වය පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම්ට හිමිව ඇති අතර කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේ අංක 3 ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවට එන්න බංග්ලාදේශය මාන බලයි

25 වැනි වියේ පසු වන මෙන්ඩිස් ටෙස්ට් තරග 44කට සහභාගී වී ඇති ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.97කි. ශතක 7ක් සමඟින් ලකුණු 2995 වාර්තා කරගෙන ඇති මෙන්ඩිස් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස දැක්වෙන්නේ ලකුණු 196කි.

කුසල් මෙන්ඩිස්ගේ ටෙස්ට් දිවියට වසරකටත් අඩු කාලයක දී ඔහුගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරන්නට ඔහු සමත්ව තිබුණි. ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරගයක පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන තිබුණේ ලකුණු 117ක් පමණි. දෙවන ඉනිම ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100කට ආසන්න සංඛ්‍යාවක් පසුපසින් සිටියේය. 

දෙවන ඉනිමේ දී මෙන්ඩිස් වාර්තා කළ ලකුණු 176ත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම තම ලකුණු පුවරුව 353ක් බවට පත් කර ගත්තේය. එහි දී ලකුණු පනහේ සීමාව පසුකර ගිය එකම ඉනිම මෙන්ඩිස්ගේ ඉනිම විය.

මෙන්ඩිස්ගේ ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළ අතර පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ද වාර්තා කරන්නට සමත් විය.

තවද නවසීලන්තයට එරෙහිව ජයග්‍රාහී ශතකයක් වාර්තා කිරීම සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් (ලකුණු 84ක්) වාර්තා කරමින් තවත් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යෑමට දායක වීම ඔහුගේ කැපී පෙනෙන දස්කම් ලෙස දැක්විය හැක. 

විස්ඩන් නම් කළ යොවුන් ටෙස්ට් කණ්ඩායම මෙසේයි.

  1. එයිඩන් මාක්‍රම් – දකුණු අප්‍රිකාව (වයස 25)
  2. ඩොම් සිබ්ලි – එංගලන්තය (වයස 24)
  3. කුසල් මෙන්ඩිස් – ශ්‍රී ලංකාව (වයස 25)
  4. බාබර් අසාම් (නායක) – පාකිස්තානය (වයස 25)
  5. ඔලී පෝප් – එංගලන්තය (වයස 22)
  6. රිශාබ් පන්ට් (කඩුලු රකින ක්‍රීඩක) – ඉන්දියාව (වයස 22)
  7. සෑම් කරන් – එංගලන්තය (වයස 22)
  8. රශීඩ් ඛාන් – ඇෆ්ගනිස්තානය (වයස 21)
  9. ජොෆ්රා ආචර් – එංගලන්තය (වයස 25)
  10. කගීසෝ රබාඩා – දකුණු අප්‍රිකාව (වයස 25)
  11. ශහීන් ෂා අෆ්‍රිඩි – පාකිස්තානය (වයස 20)

මෙම කණ්ඩායම සඳහා නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය නියෝජනය කරමින් කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයකි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<