එංගලන්ත ප්‍රබලයින්ට පාකිස්තාන සංචාරයෙන් විවේකයක්

369
Willey, Malan return for Pakistan T20Is

COVID-19 වයිරස ව්‍යාප්තියෙන් පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වැනිදා පාකිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතයි.  එම තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය ඊයේ (18) නම් කර තිබුණා.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කරන ජෝ රූට්, ක්‍රිස් වෝක්ස්, ජොෆ්රා ආචර්, සෑම් කරන්, මාර්ක් වුඩ් හා ජෝස් බට්ලර්ට මෙම විස්සයි විස්ස තරගාවලියේ දී විවේකයක් ලබා දී ඇති අතර අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු එක්දින තරගාවලියේ තරගයේ වීරයා වුණු ඩේවිඩ් විලී එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඔහු අවසන් වරට එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ 2019 වසරේ මැයි මාසයේ දීයි.

පාකිස්තාන තරගාවලියට නම් කළ එංගලන්ත සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙක් ඇතුළත්. ඔයින් මෝර්ගන් එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ලියම් ලිවින්ග්ස්ටෝන්, ජේම්ස් වින්ස්, ලියම් ඩෝසන් හා රීස් ටොප්ලි වෙනුවට ජෝ ඩෙන්ලි, ලුවිස් ග්‍රෙගරි, ක්‍රිස් ජෝර්දාන් හා ඩේවිඩ් මාලන් කණ්ඩායමට ඇතුලත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ලිවින්ග්ස්ටෝන්, ටොප්ලි හා පැට් බ්‍රවුන් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

පෞද්ගලික කාරණාවක් නිසා නවසීලන්තය බලා පිටත්ව ගිය බෙන් ස්ටොක්ස් මෙම තරගාවලියට කැඳවා නැහැ. එංගලන්ත විස්සයි විස්ස සංචිතය ගැන තේරීම් කමිටු ප්‍රධානි එඩ් ස්මිත් මෙසේ පවසා සිටියා. 

“මේ දිනවල ක්‍රීඩකයින් ද ඉතා කාර්යබහුල නිසා පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියට සෞඛ්‍යාරක්ෂිතව වෙන් වෙලා ඉන්න ක්‍රීඩකයින් අපි මේ සංචිතයට කැඳවුයේ නැහැ. ආකෘති කිහිපයකම ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට අපි පොඩි විවේකයක් ලබා දුන්නා. අපි ඕස්ට්‍රේලියාවත් සමඟ විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කරන සංචිතයත් නුදුරේ දී ම දැනුම් දෙනවා.”

තවත් ක්‍රිකට් පුවත්‍:

තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ග්‍රැහැම් ත්‍රෝප් කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස පෝල් කොලින්ග්වුඩ් කටයුතු කරනු ඇත. මාර්කස් ට්‍රෙස්කොතික් පිතිකරණ පුහුණුකරු ලෙසත්, ජෝන් ලුවිස් පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරද්දී, ලුවිස්ගේ සහයට අසාර් මොහ්මූද් ද පත් කර තිබෙනවා. එංගලන්ත කණ්ඩායමේ කඩුලු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජේම්ස් ෆොස්ටර්.

එංගලන්ත – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියේ තරග තුනම මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

එංගලන්ත කණ්ඩායම – ඔයින් මෝර්ගන්, මොයින් අලී, ජොනී බෙයාර්ස්ටෝව්, ටොම් බ්‍රැන්ටන්, සෑම් බිලින්ග්ස්, ටොම් කරන්, ජෝ ඩෙන්ලි, ලුවිස් ග්‍රෙගරි, ක්‍රිස් ජෝර්දාන්, සකීබ් මොහොමඩ්, ඩේවිඩ් මාලන්, ආඩිල් රෂිඩ්, ජේසන් රෝයි, ඩේව්ඩ් විලී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<