ABට යලි එන්න නොකී හේතුව ඩූ ප්ලේසිස් හෙළි කරයි

607

2018 මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඒ. බී ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේ ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සිත් තැවුලට ලක් කරමිනුයි.

ඩිවිලියර්ස් 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිතව සිටි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පුවක් වූ අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩූ ප්ලේසිස්ට සිදු වුනේ සිය ප්‍රධානතම ක්‍රීඩකයෙක් නොමැතිව ලෝක කුසලානයට මුහුණ දීමටයි.

ඩිවිලියර්ස්ගේ අඩුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට තදින්ම දැනුණු අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයට පත්ව ඇෆ්ගනිස්තානයට පසුව තරගාවලියෙන් ඉවත් වුනා.

1998 වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමේ සිටම එකට ක්‍රීඩා කළ ඩිවිලියර්ස් හා ඩූ ප්ලේසිස් එකම නේවාසිකාගාර කාමරයක නවාතැන් ගත් මිතුරන් වීම විශේෂත්වයක්. බොහෝ දෙනා පවසා සිටින්නේ ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කිරීමෙන් පසුව ඔහුගේ නිදහසට ගරු කරමින්, ඔහුට නැවත පැමිණීමට ඩූ ප්ලේසිස් බල නොකළේ ඒ නිසා බවයි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

“ඒ. බී ගියාට පස්සේ මට ගොඩක් අමාරු වුනා, මොකද මම ඔහුගෙන් ගොඩක් යැපුණා, යාළුවෙක් වශයෙන් වගේම කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා ද වශයෙන්. අපිට ඔහුගේ දක්ෂතා ගොඩක් අවශ්‍ය වුනා” ඩූ ප්ලේසිස්, ආර් අශ්වින් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී පවසා සිටියා.

“ඔහු මට කිව්වම තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා කියලා මිතුරෙක් වශයෙන් මගේ පළමු සිතුවිල්ල වුනේ ඔබේ තීරණය වෙනුවෙන් මම ඔබට සහය දක්වනවා කියලයි. ඔබට හිතෙනවා නම් ඔබේ ක්‍රීඩා ජීවිතය අවසන් කියලා, ඔබට ආයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕනේ නැත්නම් ඒකට ගැටලුවක් නැහැ. මම ඔබේ තීරණයට 100%ක් සහය දක්වනවා.”

ඩිවිලියර්ස් යළිත් පැමිණීමට කැමැත්ත පළ කළත් දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු ඕටිස් ගිබ්සන් හා නායක ඩූ ප්ලේසිස් එයට විරුද්ධ වූ බව හෙළි වීමත් සමඟ ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇති වුනා. පසුගිය වසරේ ලෝක කුසලානය මැද්දේ මෙම කතාබහ ඇති වූ අතර ඩූ ප්ලේසිස් හා පුහුණුකරු ගිබ්සන් එම තීරණය ගෙන තිබුණේ දකුණු අප්‍රිකානු ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළු වීමට මහන්සි වූ අනෙක් ක්‍රීඩකයින්ට අසාධාරණයක් වීම වැළැක්වීමට බව පසුව ඔවුන් පවසා තිබුණා.

“නායකයෙක් විදියට මම හිතුවේ අපි කොහොමද ඒ. බි නැතුව ඉදිරියට යන්නේ කියලා, අපි කොහොමද ඉස්සර වගේම දක්ෂතා දක්වන්නේ කියලා. නමුත් ඔහු කෙරෙහි මගේ තිබුණු මිත්‍රත්වය වඩා බලවත් වුනා. මම ඔහුට කිව්වා, අපිට ඔයා නැති පාඩුව ගොඩක් දැනේවි, ඔබට ඇත්තෙන්ම විශ්වාස ද කියලා මම ඔහුගෙන් ඇහුවා. මට 100% විශ්වාසයි, මට ආයෙත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න ඕනෑ නැහැ මට ඒ පිළිබඳව තිබුණු උනන්දුව නැති වෙලා තියෙන්නේ, මම නවත්වනවා කියලා ඔහු කිව්වා.”

“මම ඒකට ගරු කරලා එතැනින් ඒක ගැන අහන එක නැවැත්තුවා. අපිට ඔහුව කොච්චර අවශ්‍ය වුනත් මම ඔහුව පොළඹවාගන්න උත්සහ කළේ නැහැ මොකද මම ඔහු කියපු දේට කරු කරපු නිසා.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<