බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

185

2021 පන්දුවාර විස්ස ලෝක කුසලානයේ අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී අද (06) පැවති බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි වුනා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉතා වැදගත් තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන්ට ආරාධනා කළා.

  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch (c), Mitchell Marsh, Glenn Maxwell, Steven Smith, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood
  • බටහිර ඉන්දීය කොදෙව්: Chris Gayle, Evin Lewis, Nicholas Pooran (wk), Roston Chase, Shimron Hetmyer, Kieron Pollard (c), Andre Russell, Jason Holder, Dwayne Bravo, Hayden Walsh, Akeal Hosein

ඕස්ට්‍රේලියාවේ ආරාධනාවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ලකුණු පුවරුව 30ක් වන විට තරගාවලිය පුරාවටම අසාර්ථක වූ සුපිරි ක්‍රීඩක Chris Gayle ලකුණු 15කට පිටියෙන් ඉවත් කිරීමට Pat Cumminsට හැකි වුනා.

එම දැවී යාමෙන් අන්තුරුව Gayle නැවත ක්‍රීඩාගාරයට යෑමේ දී ප්‍රේක්ෂකයන් හට පිත්ත සහ හිස්වැසුම ඔසවා ආචාර කිරීමට කටයුතු කළේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගැනීම පිළිබඳව ඉඟියක් සපයමිනි.

ඉන්පසු පිටියට පිවිසි Nicholas Pooran සහ Roston Chase පිළිවෙළින් ලකුණු 4කට සහ 0කට පිටියෙන් ඉවත් කිරීමට Josh Hazlewoodට හැකි වුනේ කොදෙව් ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 35ක් බවට පත්කරමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමට යම් සහනයක් ගෙනදෙමින් ඉවසිලිවන්ත ඉනිම් දියත් කරමින් පිළිවෙළින් ලකුණු 29ක් සහ 27ක් රැස්කිරීමට Evin Lewisට සහ Kieron Pollardට හැකි වුනා.

සිය අවසන් ජාත්‍යන්තර ඉනිම ක්‍රීඩා කළ Dwayne Bravo ලකුණු 19කට පිටියෙන් ඉවත් වූ අතර නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31ක දී Kieron Pollard ලබා ගත් ලකුණු 44 සහ පන්දු 7ක් තුළ Andre Russell ලබා ගත් ලකුණු 18 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී 157ක් ලබා ගැනීමට කොදෙව්වන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී Josh Hazlewood ලකුණු 39ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Pat Cummins, Mitchell Starc සහ Adam Zampa අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 155ක තීරණාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Aaron Finch ලකුණු 9ක් ලබා සිටිය දී දවා ගැනීමට Akeal Hosein සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 33ක් වන විටයි.

ඉන්පසු පිටියේ එක්වූ Mitchell Marsh සහ David Warner කොදෙව් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 124ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනා.

ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍ය තිබිය දී පන්දු 32ක් තුළ ලකුණු 53ක් රැස්කර සිටි Mitchell Marsh, Chris Gayleගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඕස්ට්‍රේලියාව පන්දුවාර 16.2ක අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භ පිතිකරු David Warner පන්දු 56ක් තුළ හයේ පහරක් හතරක් සහ හතරේ පහර නවයක් සමඟින් ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණය සමඟින් සිය කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණීමට ඕස්ට්‍රේලියාව හැකි වූ අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකානු තරගයේ ප්‍රතිඵලය මත ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලාන ඉදිරි ගමන තීරණය වනු ඇත.

  • බටහිර ඉන්දීය කොදෙව්; 157/7 (20): Kieron Pollard 44, Evin Lewis 29, Josh Hazlewood 4/39.
  • ඕස්ට්‍රේලියාව; 161/2 (20): David Warner 89*, Mitchell Marsh 53, Akeal Hosein 1/24, Chris Gayle 1/7.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<