ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාවක්

887
Jeffrey Vandersay

දකුණතින් පා දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ දිල්ලි හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා තෙවන හා අවසන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා  ටෙස්ට් සංචිතයට කැඳවනු ඇතැයි ThePapare.com වෙත වාර්තා වේ.

ඊයේ (27) නාග්පූර් හිදී නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ ඉනිමකින් හා ලකුණු 239කින් පරාජයට පත් වීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණිය සවිමත් කිරීමේ අරමුණ ඇතිවයි.

ශ්‍රී ලංකාව පරාජිත ටෙස්ට් තරග ශතකය වාර්තා කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි..

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ලක්ශාන් සඳකැන් ඇතුත්ව සිටින අතර ඊට අමතරව දඟපන්දු යවන්නන් ලෙස රංගන හේරත් හා දිල්රුවන් පෙරේරා ද සංචිතයේ සිටියි. වයස අවුරුදු 27ක් වන වැන්ඩර්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 11කට හා විස්සයි-විස්ස ජාත්‍යන්තර තරග 7කට ද ක්‍රීඩා කර ඇති නමුත් තවමත් ටෙස්ට් වරම් දිනා ගෙන නොමැත. නමුත් පළමු පෙළ තරග 36ක දී කඩුලු 168ක් දවාගෙන ඇත්තේ 24.87ක් පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.  

2016 වසරේ ඉන්දියාවේ දී පැවැත්වූ විස්සයි-විස්ස ලෝක කුසලානය අතරතුර වැන්ඩර්සේ ආබාධයකට ලක්වූ අතර ඒ නිසාවෙන් මාස කිහිපයක් පමණ විවේකීව සිටීමට ඔහුට සිදු විය. පසුව ශ්‍රී ලංකා A කණ්ඩායමට ක්‍රීඩා කළ වැන්ඩර්සේ එහි දී නැවතත් දක්ෂතා අතරට පැමිණියේය. තරග තුනකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට හැකිව ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<