එක්දින හොඳට කරපු අපිට විස්සයි විස්සේ දී මොනවා වෙයි ද?

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

78

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (4) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ.

දෙරට අතර මේ දක්වා විස්සයි විස්ස තරගාවලියක් පවත්වා තිබෙන්නේ එක් අවස්ථාවක දී පමණක් වන අතර 2015 දී පැවති එම තරගාවලිය 1-1ක් ලෙස නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.

වැදගත් දත්ත කිහිපයක්

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර වසර 7ක් තිස්සේ පැවති විස්සයි – විස්ස  ක්‍රිකට් තරගවලින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශාන් පෙරමුණේ පසුවෙයි.

ඔහු කොදෙව්වන්ට එරෙහිව විස්සයි – විස්ස තරග 9කට සහභාගී වී ලකුණු 346ක් ලබාගෙන ඇත්තේ 49.40ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස් විසින් වන අතර ඔහු කොදෙව්වන් සමඟින් විස්සයි – විස්ස තරග 5කට සහභාගී වෙමින් දවාගෙන ඇති කඩුලු ගණන 9ක්.

ප්‍රබල පිතිකරුවන් 

කුසල් පෙරේරා 

කඩුලු රකින පිතිකරුවෙක්  සහ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන කුසල් පෙරේරා ඉතාමත් ජවසම්පන්න ලෙස පිතිකරණයේ නිරත වීමට හැකි පිතිකරුවෙකි. මේ ප්‍රහාරාත්මක වමත් පිතිකරුවා ජාත්‍යන්තර විස්සයි – විස්ස  තරග 45ක් තුළ ලකුණු 1212ක් ලබාගෙන ඇත්තේ 27.54ක් වැනි සාමාන්‍යයක් සමඟිනි. ඒ අතරට අර්ධ ශතක 11ක් ඇතුලත්ය.

කොදෙව්වන්ට එරෙහිව විස්සයි -විස්ස තරග 3ක් ක්‍රීඩා කර තිබෙන කුසල් ජනිත් එහි දී ලකුණු  78ක් ලබාගෙන ඇත.

කිරන් පොලාර්ඩ්

විස්සයි විස්ස ක්‍රිකට් පිටිය සඳහා වැඩි ප්‍රියතාවයක් දක්වන කොදෙව්වන් අතර ඉදිරියෙන්ම සිටින කිරන් පොලාර්ඩ් පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක් ලෙසින් ද ශ්‍රී ලංකාවට එරෙහිව වැඩි දක්ෂතා දක්වා නොමැත.

නමුත් ඔහු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය වෙමිනි. පිතිකරුවෙක් ලෙසින් තරග 71ක දී ලකුණු 1089ක් ද පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 35ක් ද ලබා ගනිමින් පොලාර්ඩ් ශ්‍රී ලංකාවට එරෙහිව තම ජවය මුසු කරනු ඇත.

ඇන්ජලෝ මැතිව්ස්

නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණ තිබෙන ඇන්ජලෝ මැතිව්ස් පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් නිමා වූ එක්දින තරගාවලියේ දී ඉතාමත් හොඳ මට්ටමේ දස්කම් අතරට පැමිණි නමුත් පිතිකරුවෙක් ලෙස තරමක් අසාර්ථක විය.

කෙසේ නමුත් ඒ නිසාවෙන් මේ විස්සයි විස්ස තරගාවලිය තුල ඔහු පිතිකරුවෙක් ලෙස සාර්ථක වෙනු ඇතැයි අපට යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකිය. කොදෙව්වන්ට එරෙහිව විස්සයි විස්ස තරග 9ක දී ලකුණු 118ක් ලබාගෙන තිබෙන මැතිව්ස් සිය විස්සයි – විස්ස ක්‍රිකට් දිවියේ තරග 73කට සහභාගී වෙමින් එක් අර්ධ ශතක 5ක් සමඟින් රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 1086ක් (සාමාන්‍ය 27.15).

ඇන්ඩ්‍රි රසල්

විස්සයි විස්ස පිටියේ සිටින තවත් දක්ෂ සහ නමගිය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ඩ්‍රි රසල් කොදෙව් එක්දින සංචිතය තුල ඇතුලත්ව නොසිටි නමුත් මේ විස්සයි විස්ස සංචිතයට කැඳවීම නිසා ඔවුන්ගේ සංචිතය පෙරටා සාපේක්ෂව දැඩි සමබරතාවයකින් යුක්ත වේ.

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 6ක දී ලකුණු 64ක් සහ කඩුලු 2ක් ලබාගෙන තිබෙන රසල් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 47ක දී ලකුණු 465ක් සහ කඩුලු 25ක් දවාගෙන ඉතාමත් ජවසම්පන්න ලෙස ක්‍රීඩා කර තිබේ.

ප්‍රබල පන්දු යවන්නන් 

ලසිත් මාලිංග 

විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන මාලිංග මේ ශ්‍රී ලංකා සංචිතයේ සිටින අත්දැකීම් බහුලතම පන්දු යවන්නා ද වේ. දකුණතින් වේගපන්දු යවන මාලිංග ඉතාමත් තර්ජනාත්මක පන්දු යවන්නෙකි.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 82ක දී කඩුලු 106ක් දවා ගැනීමට සමත්ව ඇති මාලිංග එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 5.35ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. වයස අවුරුදු 36ක් වන මාලිංග කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි – විස්ස ක්‍රිකට් තරග 8ක දී කඩුලු 12ක් දවාගෙන ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස ඉතිහාසයේ  දෙවන වැඩිම කඩුලු ලාභියා ලෙස ඉදිරියෙන් සිටින්නේ 18.08ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ශෙල්ඩන් කොට්‍රල්

කොදෙව් කණ්ඩායම සතු තවත් ජවසම්පන්න වේගපන්දු යවන්නෙක් වන ශෙල්ඩන් කොට්‍රල් හට එක්දින තරගාවලිය තුල එතරම් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීමට අවස්ථාව උදා වූයේ නොමැත. කෙසේ නමුත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 25ක දී කඩුලු 34ක් දවාගෙන තිබෙන  කොට්‍රල් මේ තරගාවලිය තුල තරජනාත්මක පන්දු යවන්නෙක් වනු නිසැකය.

වනිඳු හසරංග 

22 හැවිරිදි වනිඳු හසරංග කණ්ඩායමට එක් වෙන්නේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසිනි. මේ දක්වා විස්සයි විස්ස තරග 11ක් ක්‍රීඩා කර ඇති වනිඳු හසරංග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 71කි.

ඊට අමතරව දකුණතින් පා දඟ පන්දු යවන වනිඳු විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ මේ වන විට කඩුලු 15ක් ලබා සිටී. තවමත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ විස්සයි විස්ස තරගයකට සහභාගී වී නොමැති වනිඳුගේ මංගල තරගාවලියේ දී ශ්‍රී  ලංකාව වෙනුවෙන් දැනෙන යමක් කරනු ඇතැයි බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයෙකි.

ඩ්වේන් බ්‍රාවෝ

විස්සයි විස්ස ක්‍රිකට් තරග බිමේ තවත් නම ගිය තරුවක් වන ඩ්වේන් බ්‍රාවෝ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. දකුණතින් දඟපන්දු යවන ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර විස්සයි – විස්ස තරග 69ක දී කඩුලු 57ක් දවා ගැනීමට සමත් වී ඇත.

ලකුණු 28කට කඩුලු 4ක් දවා ගැනීම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති බ්‍රාවෝ එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 8.34ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.

තණතීරුවේ ස්වභාවය 

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර පල්ලෙකැලේ පිටියේ මෙතෙක් විස්සයි – විස්ස තරග දෙකක් පවත්වා තිබෙන අතර එම තරග දෙකම ශ්‍රී ලංකාව ජයගෙන ඇත. එසේම මේ තණතීරුව මත රාත්‍රි කාලයේ පවත්වා තිබෙන තරග වල අවසන් ප්‍රතිඵලය නිරීක්ෂණය කළ විට ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු රැකීම වඩා සුදුසු වනු ඇත. මේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 35,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස නිර්මාණය කර තිබේ.

කාලගුණය දෙස බැලීමේ දී ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවනි. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 21-26 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

අවසන් විස්සයි – විස්ස තරග පහේ ප්‍රතිඵල

  • ශ්‍රී ලංකාව – LLLLL

  • කොදෙව්වන් – WLLWL

(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන් L – පරාජයන්)

සංචිතයන් 

ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ඉසුරු උදාන, තිසර පෙරේරා, ලහිරු කුමාර, දසුන් ශානක, අසිත ප්‍රනාන්දු

බටහිර ඉන්දීය කොදෙව් – කිරන් පොලාර්ඩ් (නායක), ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, ශෙල්ඩන් කොට්‍රල්, ශිම්රන් හෙට්මයර්, ශයි හෝප්, බ්‍රෙන්ඩන් කිං, නිකලස් පූරාන්, රොව්මන් පවෙල්, ඇන්ඩ්‍රි රසල්, ලෙන්ඩල් සිමන්ස්, ඔශේන් තෝමස්, හේඩ්න්  වොල්ෂ්, කෙස්රික් විලියම්ස්.

තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<