ගේල්ගෙන් සුපිරි පන්දු රැකීමක්; ශූරතාවය වැන්කුවර් නයිට්ස්ට

226

සති කිහිපයක් පුරාවට පැවැත්වුණු ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) අලුයම අවසන් වූයේ ක්‍රිස් ගේල් නායකත්වය දැරූ වැන්කුවර් නයිට්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමිකර දෙමිනි. එහි අනුශූරතාවය කොදෙව් ක්‍රිකට් B කණ්ඩායමට හිමි විය.

මාලිංග, තිසර, දසුන් සහ ඉසුරු කැනඩාවට වෙන්දේසි වේ

ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය ජුනි 2 …

ටොරෙන්ටෝ නගරයට උතුරෙන් පිහිටා ඇති මේපල් ලීෆ් ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ පැවති මේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් වැන්කුවර් නයිට්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ඒ ආරාධනයෙන් පළමුව පිටියට පිවිසුණු කොදෙව් ක්‍රිකට් B කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසන් වීමට පෙර ලකුණු 145කට  සියල්ලන්ම දැවී ගියේය. ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ ලකුණු 16 ඉක්මවා ලකුණක් ලබාගත්තේ දකුණතින් පිත්ත හසුරුවන ෆාබියන් ඇලන් පමණි. පන්දු 23ක දී 4 පහරක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබාගැනීමට ඔහු සමත් නොවුනේ නම් අවසන් මහා තරගයක ස්වරූපය හා උණුසුම නොමැති වීමට ද යම් ඉඩකඩක් තිබුණි.

කොදෙව් ක්‍රිකට් B කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් වන කාවීම් හොග් දවා ගැනීමට ක්‍රිස් ගේල් විසින් ලබාගත් සුපිරි උඩ පන්දුව තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් මෙන්ම ලොව පුරා කාගේත් දැඩි කතාබහකට ලක්විය. (එම උඩ පන්දුව රැක ගත් වීඩියෝ දර්ශනය පහතින් ඔබට නැරඹීමට හැකිය.)

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන ශේල්ඩන් කොට්රල් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් කොදෙව් ක්‍රිකට් B කණ්ඩායමේ පිතිකරුවන් පාලනය කරන ලදි.

තරගාවලිය පුරාවට එක් තරගයක් පමණක් පරාජය වෙමින් මේ අවසන් මහා තරගයට අවතීර්ණ වූ වැන්කුවර් නයිට්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා  ලකුණු 146ක ඉලක්කයක් හිමිව තිබුණු අතර එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 3ක් තුල සපුරා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි. එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේ දී වැන්කුවර් නයිට්ස් කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 22ක් වෙද්දී දැවී ගියත් අනතුරුව පිටියේ එක්වූ සාඩ් බීන් සෆාර් හා රාසී වැන්ඩර් ඩුසෙන් පිළිවෙළින් ලකුණු 79*ක් හා ලකුණු 44*ක් ලබාගෙන නොදැවී පිතිකරණයේ නිරත වූයේ සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා මෙහෙයවමිනි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ එම විශිෂ්ට ලකුණු 126* සබඳතාවය ගොඩනැංවීමේ දී වැඩි මෙහෙයක් ඉටු කළ සාඩ් බීන් සෆාර් පන්දු 48ක් පමණක් වැය කරමින් ලකුණු 79* ලබාගත්තේ 4 පහර 8ක් හා 6 පහර 3ක් එල්ල කරමිනි. ඔහුට සහාය වූ දකුණතින් පිත්ත හසුරුවන රාසී වැන්ඩර් ඩුසෙන් 4 පහර 3ක් සමඟ නොදැවී ලකුණු 44*ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ද්‍රෙවල් ග්‍රීන් කඩුලු 2ක් සිය කඩුලු ගොන්නට එකතු කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ හා කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන රුවිඳු ගුණසේකර හා ශ්‍රිමාන්ත විජේරත්න ද ශූරතාවය දිනාගත් වැන්කුවර් නයිට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ඔවුන් දෙදෙනාම අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළේ නොමැත.

කොදෙව් ක්‍රිකට් B කණ්ඩායම -145/10 (17.4): ෆාබියන් ඇලන් 41, ශේල්ඩන් කොට්රල් 4/29.

වැන්කුවර් නයිට්ස් – 148/3 (17.3): සාඩ් බීන් සෆාර් 79*, රාසී වැන්ඩර් ඩුසෙන් 44*, ද්‍රෙවල් ග්‍රීන් 2/20.

තරගයේ වීරයා – සාඩ් බීන් සෆාර් (වැන්කුවර් නයිට්ස්)

තරගාවලියේ වීරයා – ලෙන්ඩල් සිමන්ස් (විනිපෙග් ඊගල්ස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <