කොරෝනා මැද්දේ කොදෙව්වෝ එංගලන්තයට

108

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානීන් විසින් පසුගිය සිකුරාදා (29) කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරය නිල වශයෙන් අනුමත කළා. ඒ ඔවුන් සෞඛ්‍ය ආරක්‍ෂිත බව තහවුරු කරන ලද තරගාවලියක් සඳහා සිය කණ්ඩායම යොමු කරන බව පවසමිනුයි.

>> සැඟවුන මෙහෙයුමකට රෝච් එංගලන්තයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජුනි මාසයේ දී තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට නියමිතව තිබුනත්, පවතින COVID-19 වයිරස අවදානම නිසා එම තරගාවලිය එළඹෙන ජූලි මාසය දක්වා කල් ගියා.

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අවශ්‍ය මූලික අවසර ලබා දුන්නා” බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වී තිබුණා. 

“මේ තීරණය අපි ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කමිටුව හා ක්‍රිකට් උපදේශකවරුන්, එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඔවුන්ගේ රටේ සෞඛ්‍ය උපදේශකවරුන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.”

“බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනටමත් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්නට ඔවුන් ගෙන තිබෙන තීරණ හා සැලසුම් දැනුම් දී තිබෙනවා. සියලුම තරග ක්‍රීඩා කරන්නේ ප්‍රේක්ෂකයින් රහිතවයි.”

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර ඇති අන්දමට ජූලි 8, ජූලි 16 හා ජූලි 24 ටෙස්ට් තරග ආරම්භ කිරීමට නියමිත අතර තරග පැවැත්වෙන්නේ Ageas Bowl හා ලැන්කෂයර් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණවලයි. එයට විශේෂ හේතුවක් වී ඇත්තේ එම ක්‍රීඩාංගණ පරිශ්‍රවල හෝටල් පිහිටා ඇති නිසයි.  

මේ අතර කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ ඔවුන්ගේ ක්‍රීඩකයින් පෞද්ගලික ගුවන් යානයක ගමන් ගන්නා බවත් ක්‍රීඩකයින් හා නිලධාරීන් සියලු දෙනා හටම COVID-19 පරීක්ෂණ පවත්වන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<