අංජල බණ්ඩාර නැවතත් වගකීම් කරට ගනී

West Indies Academy tour of Sri Lanka 2026

2
West Indies Academy tour of Sri Lanka 2026

පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ අංජල බණ්ඩාර 2 වැනි ඉනිමේ දී ද නොදැවී අර්ධ ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ශක්තිමත් මුක්කුවක් ගැසුවා. ලකුණු 46කට කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී පිටියට පිවිසි අංජල බණ්ඩාර තරගය 3 වැනි දිනයට නතර කරන විට නොදැවී ලකුණු 57ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් නිල නොලත් සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ 3 වැනි දිනය (10) අවසන් වෙද්දී තම 2 වැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 148ක් ඉදිරියෙන් පසු වෙනවා. ඔවුන්ගේ එම ඉනිමට අංජල බණ්ඩාර ගේ අර්ධ ශතකයකට අමතර ව පුලිඳු පෙරේරා විසින් නොදැවී වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද ඇතුලත් වුණා.

>>කොදෙව්වන්ට එරෙහි ව අංජල බණ්ඩාරගෙන් සටන්කාමී ඉනිමක්

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 356ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 381ක් ලබා ගත්තා.

ඔවුන් අද තරගය ආරම්භ කරන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 273ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී නායක Rivaldo Clarke නොදැවී ලකුණු 72ක් ද සහ Amari Goodridge නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙසින් Amari Goodridge දැවී යද්දී සංචාරක ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 306ක් බවට පත් ව තිබූ අතර ඔහු දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලට පන්දු 137ක දී ලකුණු 57ක සබඳතාවක් එක් ව තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ Johann Layne හා එක් වූ Rivaldo Clarke 7 වැනි කඩුල්ලට පන්දු 105ක දී ලකුණු 73ක සබඳතාවක් ගොඩ නගනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ Rivaldo Clarke ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 127ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් ව සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 7 වැනි පන්දුවේ දී Johann Layne ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

එම දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දු 14ක දී ලකුණක් පමණක් ලබා දෙමින් ඉතිරි කඩුලු ද්විත්වය ද දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ ශක්ති උදාර අද දවසේ දී ද කඩුලු 3ක් දවා ගනිමින්  ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 6ක් ලකුණු 102කට දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඊට අමතර ව නිසල අබේරත්න සහ චමෝද් බට්ටගේ කඩුලු ද්විත්වය බැගින් බෙදා ගත්තා.

ලකුණු 25ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 173ක් ලබා සිටියා.

එම ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 46ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. ඒ වෙද්දී රවිඳු රසාන්ත (2), අසිත වන්නිනායක (14), දිනුර කළුපහන (25) සහ සහන් කෝසල (1) තම ඉනිම් අවසන් කර තිබුණා.

ඉන් අනතුරු ව කඩුල්ලේ දී ශාරුජන් ශන්මුගනාදන් සමඟ එක් වෙන අංජල බණ්ඩාර 5 වැනි කඩුල්ලට පන්දු 108ක දී ලකුණු 45ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ශාරුජන් ශන්මුගනාදන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 44ක දී ලබා සිටියේ ලකුණු 11ක් පමණයි.

දිනය අවසන් වෙද්දී අංජල බණ්ඩාර පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද සහ පුලිඳු පෙරේරා පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට මෙතෙක් සබඳතාව නොදැවුණ ලකුණු 82ක්.

කඩුලු දවා ගැනීමේ දී  Johann Layne ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Jediah Blades සහ Ryan Bandoo කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 356 (90.2)අසිත වන්නිනායක 41, ශාරුජන් ශන්මුගනාදන් 25, අංජල බණ්ඩාර 163, නිසල අබේරත්න 48, Jediah Blades2/83, Johann Layne 3/68, Ryan Bandoo 3/45
  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 381 (103.4) Damel Evelyn35, Mavendra Dindyal60, Shaqkere Parris 55, Rivaldo Clarke 127, Johann Layne 35, නිසල අබේරත්න 2/76, චමෝද් බට්ටගේ 2/65, ශක්ති උදාර 6/102
  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම- දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 356 (49.0) දිනුර කළුපහන 25, අංජල බණ්ඩාර නොදැවී 57, පුලිඳු පෙරේරා නොදැවී 50, Johann Layne3/34

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලකුණු 148ක් ඉදිරියෙන්.

තරගය හෙට (11) 4 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<