Wasim Akram පාකිස්තාන විශිෂ්ටයන් අතරට

487

පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ සහ පාකිස්තාන කණ්ඩායමට නායකත්වය ලබා දුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Wasim Akram පාකිස්තාන විශිෂ්ට ක්‍රීඩක ලැයිස්තුවට එක් කිරීමට එරට බලධාරින් තීරණය කර තිබේ.

එම ලැයිස්තුවට එක්වූ අටවැනි පාකිස්තාන ක්‍රීඩකයා Wasim Akram වන අතර ඔහුට පෙර Abdul Qadir, Fazal Mahmood, Hanif Mohammad, Imran Khan, Javed Miandad, Waqar Younis, සහ Zaheer Abbas යන පාකිස්තාන ක්‍රීඩකයින් එම ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා.

ඔහු එම ලැයිස්තුවට ඇතුළත් වූ බව නිවේදනයක් කරමින් හිස්වැසුම සහ සමරු ඵලකය ලබාදීම Pakistan Super League තරගාවලිය අතරතුර දී සිදුවූ අතර ඔහුට එම හිස්වැසුම සහ සමරුව ප්‍රධානය කිරීම සිදුවුනේ සුපිරි ක්‍රීඩක Sir Vivian Richards අතින් වීම විශේෂත්වයක්.

තමන්ට එම විශිෂ්ටයන් අතරට එක්වීමට ලැබීම පිළිබඳව Wasim Akram මෙලෙස අදහස් දැක්වූවා.

“Sir Vivian Richards අතින් මෙම ගෞරවය ලැබීමට හැකි වීම භාග්‍යයක් ලෙස සලකනවා. ඒ වගේම හිටපු ක්‍රීඩකයින්ගේ දස්කම් හඳුනාගෙන ඔවුන්ට මෙවැනි ගෞරවයක් ලබාදීමට කටයුතු කිරීම ගැන මම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට මගේ ස්තූතිය පුද කර සිටිනවා.” 

“වසර 18කට අධික කාලයක් ජාත්‍යන්තර තරග 460ක් පාකිස්තානය නියෝජනය කරන්න ලැබෙන එක විශාල ගෞරවයක්. ඒ තරගවල දී මම ලබාගත් සෑම ලකුණක්ම වගේම සෑම කඩුල්ලක්ම මිල කරන්න බැහැ. මගේ රටට උපරිමයෙන් සේවය කරන්න ලැබුනු එක ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා.”

1984 වසරේ සිට 2003 දක්වා පාකිස්තානය නියෝජනය කළ Wasim Akram ජාත්‍යන්තර කඩුලු 916ක් සහ ලකුණු 6615ක් රැස් කරගැනීමට සමත්ව තිබුණා.

Hindustan Times ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<