දැවැන්ත මුදලක් සමඟින් වනිඳු RCB කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 - ක්‍රීඩක වෙන්දේසිය

65

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (12) ඉන්දියාවේ Bengaluru දී ආරම්භ වුණා.

එහි දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට මිල දී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුනා.

දැනට ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ අවම ලංසු මුදල ලෙස ඉන්දීය රුපියල් කෝටියක මුදලක් සටහන් වී තිබුණු නමුත් ඔහුගේ දක්ෂතා නිසාවෙන් Sunrisers Hyderabad, Punjab Kings සහ Royal Challengers Bangalore යන කණ්ඩායම් ඔහුව මිල දී ගැනීම සඳහා දැඩි ප්‍රියතාවයක් දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මූලික වෙන්දේසි මුදල දැවැන්ත ලෙස ඉහල ගියා.

වනිඳු හසරංග පසුගිය වසරේ දී පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි නොවුණු නමුත් තරගාවලිය අතරතුර දී Royal Challengers Bangaloreට ක්‍රීඩා කිරීමට ඔහුට වරම් ලැබුණා.

ක්‍රීඩක වෙන්දේසිය පැය දෙකකටත් අධික කාලයක් අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක වූ නමුත්, එය අතරමග දී තාවකාලිකව අත්හිටුවීමට ද සිදු වුනා. ඒ, ලංසු ඉදිරිපත් කරන අතරතුර දී වෙන්දේසිය මෙහෙය වූ බ්‍රිතාන්‍ය ජාතික Hugh Edmeades හදිසියේ ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙන්. අනතුරුව ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා කටයුතු කෙරුණු අතර, මේ වන විට ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙනවා.

දින දෙකක් පුරාවට පැවැත්වෙන මේ ක්‍රීඩක වෙන්දේසියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් විසින් ඉන්දීය ක්‍රීඩක Shreyas Iyer ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට මිල දී ගෙන තිබෙන අතර එය මේ (සවස 4.00) දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකමක් නිර්මාණය වුනු ලංසුව බවට පත්වුනා. එසේම දැනට වෙන්දේසි වූ විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම ලංසු මුදලකට වෙන්දේසි වුනු ක්‍රීඩකයා බවට පත්වුණේ වනිඳු හසරංගයි.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 600 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් ක්‍රීඩකයින් 228 දෙනෙකු ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයින්. ශ්‍රී ලංකාවෙන් වෙන්දේසිය සදහා ඉදිරිපත් වීමට නියමිතව ඇති ක්‍රීඩකයින් ගණන 23ක්.

වෙන්දේසියට ඉදිරිපත් වීමට නියමිතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන් ලියාපදිංචි වී ඇති මූලික වටිනාකම් පහත දැක්වෙනවා.

දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50

මහේෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් ලක්ෂ 50

චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

නිරෝෂන් දික්වැල්ල – ඉන්දීය රුපියල් ලක්ෂ 50

කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50

කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50

අකිල ධනංජය – ඉන්දීය රුපියල් ලක්ෂ 50

භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50

මතීෂ පතිරණ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50

පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50

දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

කෙවින් කොත්තිගොඩ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50

ළහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50

ඉසුරු උදාන – ඉන්දීය රුපියල් ලක්ෂ 50

නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 20

ධනුෂ්ක ගුණතිලක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

ධනංජය ලක්ෂාන් – ඉන්දීය රුපියල් ලක්ෂ 50

සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50

දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<