වනිඳුට සහ නුවන් තුෂාරට ඉදිරි තරග දෙක මඟ හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

415

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ඉදිරි විස්සයි විස්ස තරග දෙකම මඟ හැරී යන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කර සිටියා. දෙරට අතර පැවති තෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර තුෂාරගේ පිට කොන්ද ආශ්‍රිතව මස්පිඩු පෙරලීමකට ලක්ව ආබාධයකට ලක්වුණා.

වනිඳු හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන නිසා ඔහුව නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඔහු දින 7ක කාලයක් තිස්සේ නිරෝධායනය වීම අනිවාර්ය නිසා ඔහුට මේ තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරග දෙකම මඟ හැරී යනවා.

තුෂාරගේ මේ ආබාධය සුව වීම සඳහා සති 4කට ආසන්න කාලයක් ගත වන බව වාර්තා වන අතර ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ද ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ පුහුණුවීම් අතරතුර ඔහුගේ දකුණු මහපට ඇඟිල්ලේ පන්දුවක් වැදීම නිසයි. රමේෂ් මේ වන විට සිය පුනුරුත්තාපන කටයුතු (rehabilitation work) ආරම්භ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස් තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය දැනට 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගෙන තිබෙනවා. එහි සිව්වැනි තරගය හෙට (18) Melbourne හිදී පැවැත්වීමට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<