ලොව හොඳම T20 ක්‍රීඩකයා සම්මානයට හසරංගගේ නමත්

3198

2021 ICC සම්මාන උළෙලේ ගෙවී යන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයාට හිමි සම්මානයට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබෙනවා.

ඔහුත් සමඟ පාකිස්තානු කඩුලු රකින ක්‍රීඩක Mohammad Rizwan, ඕස්ට්‍රේලියාවේ Mitchell Marsh සහ එංගලන්තයේ Jos Buttler ද එම සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

වනිඳු හසරංගට ගෙවුණු වසර අතිසාර්ථක වසරක් වුනා. ඔහු තරග 20ක දී 11.63ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 36ක් දවා ගත් අතර පිත්තෙන් ද දස්කම් දැක්වූ වනිඳු එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත් වුනා.

මේ වන විට ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු වසර පුරාම ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වුනේ ද වනිඳු හසරංග. එහි දී ඔහු කඩුලු 16ක් දවා ගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර අයර්ලන්තයට එරෙහිව පිත්තෙන් ද වටිනා ලකුණු 71ක් රැස් කළා.

තවමත් 24 හැවිරිදි වියේ පසුවන වනිඳු, දකුණු අප්‍රිකාවට එරෙහිව Sharjah පිටියේ දී පැවැත්වූ පළමු වටයේ තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කළා. ශ්‍රී ලංකාව නැවත තරගයට රැගෙන එමින් ඔහු Aiden Markram, Temba Bavuma සහ Dwaine Pretorius එකා පිට එකා නැවත ක්‍රීඩාගාරයට හරවා යැව්වා. එම තරගයේ දී ඔහු පන්දුවාර 4ක් තුළ ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.

පාකිස්තානයේ Mohammad Rizwanට ද මේ වසර සුවිශේෂ වසරක් වුනා. ඔහු තරග 29ක දී 73.66ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 1326ක් රැස් කරගෙන තිබෙන්නේ එක් ශතකයක් ද සමඟින්. කඩුලු රකින්නෙකු ලෙස ඔහු දවා ගැනීම් 24කට ද හවුල් වී තිබෙනවා.

Rizwan ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ තෙවැනි වැඩිම ලකුණු ලාහියා බවට ද පත්වුනා. ඒ පාකිස්තානු කණ්ඩායමට වටිනා ජයග්‍රහණ කිහිපයක් උරුම කර දෙමිනුයි. ලාහෝර් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව Rizwan සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කළේ මේ වසර මුල දීයි. පසුව ඔහු කොදෙව්වන්ට එරෙහිව කරච්චි හිදී රැස් කළ අගනා ලකුණු 87ක ඉනිමෙන් වසර නිමා කළා.

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marsh විස්සයි විස්ස ආකෘතියේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන්නට සමත් වුනා. තරග 27ක දී 36.88ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් Marsh ලකුණු 627ක් රැස් කරගෙන තිබුණා. එමෙන්ම පන්දු යවන්නෙකු ලෙස 18.37ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ඔහු කඩුලු 8ක් දවා ගෙන තිබෙනවා.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ඉතා ඉහළ දස්කම් දැක්වූ Marsh එහි තරග 6ක දී ලකුණු 185ක් රැස් කරගත්තා. ඒ 61.66ක සාමාන්‍යයක් රඳවා ගනිමිනුයි. Marsh නවසීලන්තයට එරෙහිව අවසාන මහා තරගයේ දීත් වටිනා ඉනිමක් දියත් කළේ ලෝක කුසලානය සිය රටට දිනා දෙමිනුයි.

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු Jos Buttler ගෙවුණු වසරේ දී ලකුණු 589ක් රැස් කරගෙන තිබුණා. ඒ 65.44ක සාමාන්‍යයක් රඳවා ගනිමිනුයි. කඩුලු රකින්නෙකු ලෙස Buttler දවා ගැනීම් 13කට සිය දායකත්වය ලබා දී තිබුනා.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 67ක දී රැස් කළ ලකුණු 101 Buttlerගේ මේ වසරේ දීප්තිමත්ම ඉනිම්වලින් එකක්. ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 10 දී ග්‍රහණයට ගත් තරගය සම්පූර්ණයෙන්ම උදුරා ගත් Buttler, එංගලන්තයට ජයග්‍රහණය ගෙන ආවා. විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එංගලන්තයේ වැඩිම ලකුණු ලාභියා ද වුනු Buttler ලකුණු 269ක් රැස් කළා.

ICC ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<