හිටපු ජ්‍යෙෂ්ඨයින්ගෙන් DC නායකයාට දොස්මුර රැසක්! Shewagගෙන් සැර ප්‍රකාශයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

217

Royal Challengers Bangalore සහ Delhi Captials අතර ඊයේ (27) ක්‍රියාත්මක වූ තරගය කෙරෙහි බොහෝ දෙනාගේ  අවධානය යොමුව තිබුණේ අවසන් මොහොත දක්වා එම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතරේ දෝලනය වන්නට වූ නිසාවෙනි.

කෙසේ නමුත් Mohammed Siraj ඇතුළු RCB වේගපන්දු බලඇණිය අවස්ථානුකූලව පීඩනය හසුරවමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ එක් ලකුණක තියුණු ජයක් සිය කණ්ඩායම වෙත හිමි කරදෙමිනි. ඒ අනුව එම ජයග්‍රහණයත් සමඟින් Royal Challengers ප්‍රසාද ලකුණු සටහනෙහි තමන් රැඳී සිටි පළමු ස්ථානය යලි සිය නමින් වෙන් කරවා ගැනීමට සමත් විය.

මෙහි දී Delhi Capital භාවිත කළ උපක්‍රම සම්බන්ධයෙන් තමන් හට කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කර සිටින ඉන්දීය කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Virender Shewag පෙන්වාදී සිටියේ නායකයෙකු වශයෙන් Rishab Pant හට තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ප්‍රමාණවත් සැලසුමක් නොතිබූ බවයි.

Shimron Hetmyer අවසන් පන්දුවාර කිහිපයේ දී තරගයේ දිශානතිය වෙනස් කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරූ නමුත් ඔහුට අවශ්‍ය කර තිබූ සහයෝගය අනෙක් අන්තයෙන් ප්‍රමාණවත් අයුරින් ලැබුණේ ද යන්න බොහෝ ක්‍රීඩාලෝලීන් හට මෙන්ම ක්‍රිකට් විචාරකයින් හට ද ගැටලුවකි. මේ අනුව යමින් Shewag සිය ස්ථාවරය පැහැදිලිව සඳහන් කරමින් පවසා සිටියේ Pantගේ නායකත්වය තුලින් දිස්වූ ඇතැම් දුර්වලතාවන් තරග පරාජයට සෘජුවම බලපෑ බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

“Pantගේ නායකත්වය ගැන කථා කළොත් අඩුම තරමේ ලකුණු 10න් 5ක්වත් දෙන්න සුදුසු නැහැ. ඔහු ඊයේ දවසේ කණ්ඩායමේ නායකයා විදියට කරපු අත්වැරදීම් එක්ක බලපුවම අවංකම තරග පරාජය වීම ගැන පුදුම වෙන්න ඕනෑ නැහැ. කණ්ඩායමේ ඉන්න ප්‍රධානම පන්දු යවන්නට ඔහුගේ කාර්‍යභාර්‍ය සම්පූර්ණ කරගන්න බැරි වෙන කොට  නායකයාට පුළුවන් වෙන්න ඕනෑ තමන් ගාව තියෙන සම්පත් හරියාකාරව කළමනාකරණය කරගෙන ඉතිරි පන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍රයෝජනය අරගන්න.”

“ක්‍රීඩාවේ ඒ වගේ සියුම් දේවල් නායකයෙක් වුනාම ඉගෙන ගත යුතුමයි. නැත්තන් වෙන්නේ තමන් කැමති පන්දු යවන්නෙක්ට පන්දුව භාර දීලා සියල්ල හොඳින් වෙයි කියලා ප්‍රාර්ථනා කරන එක තමයි. නියම නායකයා කියන්නේ ඊට වඩා වෙනස් චරිතයකට. ඔහුට තියෙන්න ඕන යම්කිසි දැනුමක් වගේම පරිණතභාවයක් තමන්ට අවාසිසහගත තත්වයක් උනත් වාසියට හරවගන්න.”

තවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සාර්ථක නායකයෙකු බවට පත්වීමට නම් Pant හට දැනට ක්‍රීඩා කරන ආකාරය තරමක් වෙනස් කරමින් අවස්ථානුකුලව සිය කාර්‍යභාර්‍ය තේරුම් ගනිමින් තරග කළ යුතු බවයි. දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රීඩකයෙකු වශයෙන් එය ඔහුගේ ක්‍රිකට් අනාගතයට ඉතාමත් වැදගත් වනු ඇති බව Shewag මහතා පවසා සිටියේය.

ජයග්‍රහණය කිරීමට තිබූ තරගයක් අවාසනාවන්ත අයුරින් Delhi කණ්ඩායම අතින් ගිලිහී ගියේ Pant හට තරගය ගලා යන ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් නොතිබූ නිසාවෙන් බව හිටපු ඉන්දීය වේගපන්දු යවන්නෙකු වන Ashish Nehraද පෙන්වා දී සිටියේ Shewag එක් කළ අදහස් සියල්ල සමඟ ඔහු එකඟ වන බව පවසමිනි.

“Rishabh මැද පන්දුවාරවල දී ක්‍රීඩා කරේ ඉතාමත් මන්දගාමී විදියට. අනවශ්‍ය පීඩනයක් ඇඟට අරගෙන ලකුණු රැස් කරන්න තිබුණ පහසු අවස්ථා කිහිපයක්ම ඔහු මඟ හැරගත්තා. Hetmyer නොවෙන්න අපි ලකුණු 25ක විතර පරතරයකින් මේ තරගය පරදිනවා.”

“කඩුල්ලේ ස්ථාවර වෙලා හිටිය පිතිකරුවන් දෙන්නට තරගයක් දිනවන්න ක්‍රීඩා කරන්න බැරි නම් එතන පැහැදිලි ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම T20 තරග ආකෘතියේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<