Kohli දැන් කෑවත් ප්‍රශ්නයක්!

WTC 2023

5465
Virat and australian bowlers are make headlines between wtc final

ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවැනි දිනය ඊයේ (09) අවසන් වූ අතර මේ වන විට තරගය දෙපිළට ම විවෘත එකක් බවට පත් වී තිබෙනවා.

කෙසේ වෙතත් තරගය පැවැත්වුණු දින තුන පුරාවට ම ක්‍රිකට් ලෝකය තුළ කතාබහට ලක් විය හැකි බොහෝ විශේෂ සිදුවීම් සිදු වූ අතර ඒ අතරින් Virat Kohli හට එල්ල වන සමාජ මාධ්‍ය විරෝධය සහ Kohli ඊට දැක් වූ ප්‍රතිචාරය තරමක් විශේෂිත එකක් ලෙස හඳුන්වා දිය හැකියි.

Sachin නම් දවස් තුනක් කෑවේ නැහැ!

හිටපු ඉන්දීය සුපිරි පිතිකරු Sachin Tendulkar විසින් පිතිකරණයෙන් පිහිට වූ විශේෂ වාර්තාවලට අභියෝගයක් එල්ල කරනු ඇති බවට බොහෝ දෙනා විසින් අනුමාන කළේ Virat Kohliගේ නමයි. Virat විසින් ද එම අනුමානය නිවැරදි එකක් බවට පත් කිරීමට සිය පිත්තෙන් උපරිම දායකත්වය ලබා දීමට උත්සාහ කළා. නමුත් ගෙවුණු කාලය නම් ඔහුට එතරම් ම සුභදායී කාලයක් වුනේ නැහැ.

නිමා වූ IPL තරගාවලියේ දී පිට පිට ම ශතක දෙකක් වාර්තා කරමින් මෙම අවසන් මහා තරගයට පිවිසුණු Kohli විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳ ඉනිමක් දියත් කරන තෙක් ඉන්දීය රසිකයින් මග බලා සිටියත් ඉන්දීය පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස Kohli දැවී ගියේ පන්දු 31කින් ලකුණු 14ක් පමණක් ලබා සිටිය දීයී.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුවේ සටහන් ව තිබුණේ ලකුණු 71ක් පමණක් වන අතර, පසුව පිටියේ එක් වූ Ravindra Jadeja සහ Ajinkya Rahane විසින් ඉන්දීය ඉනිමට යම් ජීවයක් ලබා දීමට උත්සාහ කළා.

Jadeja සහ Rahaneගේ සබඳතාව අතරතුර තරගය දෙසට යොමු වී තිබූ කැමරා කාචය ඉන්දීය ක්‍රීඩාගාරය වෙත යොමු වූ අතර එහි දී ප්‍රේක්ෂකයින් හට දිස් වුනේ Kohli විසින් යම් ආහාරයක් ලබා ගන්නා අතරේ Ishan Kishan, Shubman Gill සහ ඉන්දීය පිතිකරණ පුහුණුකරු Vikram Rathour සමඟ තරමක් සැහැල්ලු කතාබහක නිරත වන අයුරුයි.

නමුත් ඒ වන විට ඉන්දීය ඉනිම පත් වී තිබූ තත්වය නිසා ඉන්දීය ක්‍රිකට් රසිකයින්ට නම් Kohli සම්බන්ධ වූ මේ දර්ශනය එතරම් සතුටුදායක එකක් වුනේ නැහැ.

ඒ අසතුට නිසා ම පසුව එක් ක්‍රිකට් රසිකයෙකු විසින් සිදුවීමට අදාළ ඡායාරූපයක් සමඟ මෙවන් අදහසක් Twitter හී පළ කර තිබුණා.

“2003 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී කලින් දැවී ගිය පසු Tendulkar දින තුනක් ආහාර ගත්තේ නැහැ. මේ අතරේ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී කලින් ම දැවී ගිය Kohli.”

මේ අතර ඊයේ දිනයට තරගය ආරම්භ වීමට ප්‍රථම Virat Kohli විසින් ද Instagram හි යම් සටහනක් තැබීමට පියවර ගෙන තිබුණේ තමන්ට එල්ල වන චෝදනාවලට යම් පිළිතුරක් ලෙස බව අනුමාන කළ හැකියි.

“අන් අයගේ අදහස් නැමති සිරගෙදරින් නිදහස් වීමට නම් ඔබේ අකමැති වීමේ හැකියාව දියුණු කර ගත යුතු වේ.”

Kohli දැවී ගිය ආකාරය පාකිස්තානයට ගැට‍ලුවක්!

මේ අතර මෙම අවසන් මහා තරගයේ දී Kohli ප්‍රමුඛ ඉන්දිය මුල්පෙළ කඩුලු ඉක්මනින් සහ බලාපොරොත්තු නොවූ ලෙස බිඳ වැටීම හිටපු පාකිස්තාන ක්‍රීඩකයෙකු වන Basit Ali හට යම් ගැට‍ලුවක් මතු කර තිබෙනවා.

“පළමුව මම විස්තර විචාරක කුටියේ සිට තරගය නරඹන අයට අත්පොළසන් ලබා දෙනවා, ඒ වගේ ම තරග විනිසුරුවරයන්ටත්. ඕස්ට්‍රේලියාව පැහැදිලිව ම පන්දුව සමඟ සෙල්ලමක් කරා, කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. කිසිම පිතිකරුවෙක් ‘මේ මොකද වෙන්නේ?’ කියලා පුදුම වුනේ නැහැ.

හොඳම උදාහරණය තමයි පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරි පිතිකරුවන් දැවී යාම.”

Ali විසින් සිය YouTube නාලිකාව මගින් අදහස් දක්වමින් පවසන්නේ ඕස්ට්‍රේලියාව විසින් පන්දු යවනා අතරේ තරගයේ 16 වැනි පන්දුවාරය පමණ වන විට පන්දුව ප්‍රතිදෝලනයට ලක් වූ බවයි. නමුත් ඔහු නැවතත් පවසා සිටින්නේ එවැනි යමක් එතරම් ඉක්මනින් සිදුවීමට ඉඩක් නොමැති බවයි.

මෙහි දී ඔහු විසින් අවධාරණය කරන්නේ Kookaburra පන්දුව මෙතරම් ඉක්මනින් යම් ප්‍රතිදෝලනයක් පෙන්වීමට යම් ඉඩක් තිබුනත්, තරගයට භාවිත කළ Dukes පන්දුවක් එසේ දෝලනය වීමට නම් අවම වශයෙන් පන්දුවාර 40ක් පමණ පරණ විය යුතු බවයි.

මේ අනුව Ali විසින් ප්‍රකාශ කරන්නේ ඕස්ට්‍රේලියාව විසින් පන්දුව පළුදු කිරීමට උත්සාහයක් දරා ඇති බවයි. නමුත් මේ පිළිබඳ ව නම් එතරම් කතාබහක් තවමත් නිර්මාණ වී නැහැ.

ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් සිටින ඕස්ට්‍රේලියාව විසින් කඩුලු 4ක් දැවී ලකුණු 123ක් ලබා සිටි අතර මේ වන විට ඔවුන් ඉන්දියාවට වඩා ලකුණු 296ක් ඉදිරියෙන් සිටිනවා.

කෙසේ වෙතත් අද (10) තරගයේ සිව්වැනි දිනය ලෙස ඉතා තීරණාත්මක වනු ඇති බවට අනුමාන කළ හැකි. එමෙන්ම තරගය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<