දික්වැල්ල සහ ලක්ෂාන්ගෙන් කැපී පෙනෙන දස්කම්

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

1687
SLC Major Clubs T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙක අද (9) කොළඹ, පී. සරා ඕවල්, ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

එම තරග දෙකෙන් ජය ලබා ගත් NCC සහ කෝල්ට්ස් කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

NCC සහ මුවර්ස් – පළමු අවසන් පූර්ව තරගය

කාසියේ වාසිය දිනා ගත් NCC නායක නිරෝෂන් දික්වැල්ල පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඔවුන් වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 8ක් අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 80ක් ලබාගෙන සිටියේ ඉතාමත් හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කරගෙනයි.

කෙසේ නමුත් ඔවුන්ගේ ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ඉනිමක් පන්දුවාර 13කට සීමා වුනා. අවසානයේ දී මුවර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 13 තුල කඩුලු 5ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා. සොහාන් ද ලිවේරා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 17ක් තුල ලකුණු 37ක් ලබා ගත්තේ 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කරමින්.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 138ක ඉලක්කයක් හඹා ගිය NCC කණ්ඩායම පන්දුවාර 9කුත් පන්දු 5ක් අවසානයේ සිය ඉලක්කය සපුරා ගත්තා. පළමු පන්දුවේ සිටම ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වුනු දික්වැල්ල පන්දු 26ක් තුල නොදැවී ලකුණු 70*ක් ලබා ගනිමින් සුපිරි ඉනිමක් දියත් කළා. ඔහුගේ එම ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා. එහි දී ඔහු පන්දු 18ක් තුල සිය 12 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය සම්පූර්ණ කළා.

NCC පළමු කඩුලු 2ම දුවද්දී දැවී යාම්වලට හසුව 75/3ක් ලෙස ලකුණු පුවරුව සටහන්ව තිබුණු පසුබිමක 4 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 63*ක සබඳතාවයක් ගොඩනංවමින් සිය ජයග්‍රහණය තහවුරු කිරීමට දික්වැල්ල සහ සහන් ආරච්චිගේ යුගලය සමත් වුනා.

පන්දු 18ක් තුල ලකුණු 44*ක් ලබාගෙන ඔවුන්ගේ අවසානය වේගවත් කළ ආරච්චිගේ 4 පහර 3ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් එම ලකුණු ප්‍රමාණය ලබාගත්තා. ඒ අනුව NCC කණ්ඩායම 2019 වසරට පසුව අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මුවර්ස් – 131/5 (13): සොහාන් ද ලිවේරා 37, ජනිෂ්ක පෙරේරා 28, පසිඳු සූරියබණ්ඩාර 28,

NCC – 138/3 (9.5): නිරෝෂන් දික්වැල්ල 70*, සහන් ආරච්චිගේ 44*

NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Ace කැපිටල් සහ කෝල්ට්ස් – දෙවැනි අවසන් පූර්ව තරගය

කෝල්ට්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු රැකීමට තීරණය කළා Ace කැපිටල් මුල් පෙළ කඩුලු 5 ලකුණු 89ක් තුල දැවී ගොස් තිබුණු පසුබිමක අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කළ පවන්ත වීරසිංහ පන්දු 52ක් තුල ලකුණු 73ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා. එම ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 4කින් වර්ණවත් වුනා.

අවසානයේ දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් පන්දුවාර 3ක් තුල ලකුණු 30කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම දියත් කළ කෝල්ට්ස් වෙනුවෙන් සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ ධනංජය අංක 4 පිතිකරු ලෙස ලකුණු 52ක් ලබාගත්තා. පන්දු 32ක් තුල වර්ණවත් වූ ඔහුගේ ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36යි. අවසානයේ දී ඔවුන් පන්දුවාර 18කුත් පන්දු 4ක් තුල කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.

Ace කැපිටල් – 147/8 (20): පවන්ත වීරසිංහ 73, ධනංජය ලක්ෂාන් 4/30, උදිත් මදුශාන් 2/29

කෝල්ට්ස් – 152/5 (18.4): ධනංජය ලක්ෂාන් 51, ඇන්ජලෝ මැතිව්ස් 36, සිතුම් දිසානායක 2/29

කෝල්ට්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

ඒ අනුව කෝල්ට්ස් කණ්ඩායම නොකඩවා දෙවැනි වරටත් අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් අතර NCC සමඟ පැවැත්වීමට නියමිත එම තීරණාත්මක අවසන් මහා තරගය මේ මස 11 වැනිදා උදෑසන 10 කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

එහි තරගයේ තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<