‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ

1883
@static-secure.guim.co.uk

“පවුල්වාදය” ශ්‍රී ලාංකික අපට හොඳින් හුරුපුරුදු වචනයකි. අප රටේ සෑම අංශයකම ඔඩුදුවා ඇති මෙය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය බැව් දැන් හැඟී යයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු පවුලකට අයත් නැත. එය කිසිවෙකුගේ බූදලයක් විය යුතු ද නැත. එහෙත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ හිස ඔසවන තෙක් පවුලක් ලෙස ක්‍රීඩා කළ අපේ කණ්ඩායම තවදුරටත් පවුලක්ද?

දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරට දී පිට පිටම ලබන දෙවැනි එක්දින තරගාවලි පරාජයත්, දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිටම ලබන තෙවැනි එක්දින තරගාවලි පරාජයත් ලැබීමෙන් පසුව ප්‍රේක්ෂකයන්ට තවත් බලාපොරොත්තුවක් ඉතිරිව තිබේ ද?

මෙය මෑත කාලීනව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට හිසරදයක්ව ඇත. කෙතරම් පරාජයන් ලැබුවත්, ‘මීළඟ තරගය ජය ගනු ඇතැ’යි ධනාත්මකව බලා සිටින ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු දිනෙන් දිනම බොඳවෙමින් ඇත. ඒ ක්‍රිකට් පවුලක් නැතිකමිනි.

1926 දී පමණ ‘සිලෝන්’ ලෙස පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාව තරණය කළ ශ්‍රී ලංකාව, 1982 දී ටෙස්ට් වරම් දිනාගෙන, 1996 එක්දින ලෝක කුසලානය ද දිනා ගත් ධෛර්යවන්ත රටකි. ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් අනවශ්‍ය වූවත් සාධනීය අතපෙවීම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක තලය මත හිස එසවූයේය.

1965 දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ යාවජීව සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාව ඉන් වසර 10ක් ගෙවෙත්ම තමන්ගේ මට්ටමේ රටවල් අභිබවා ලෝක කුසලානයකට ක්‍රීඩා කිරීමේ වරම දිනාගත්තේය. 1975 දී අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් තරග වැදුණු ළපටි ශ්‍රී ලංකා කණ්ඩායම එහි හත්වැනි තරගයේදී ලකුණු 328 (60) ක ඕස්ට්‍රේලියානු ඉලක්කය හඹායමින් ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ දී කඩුලු 4කට ලකුණු 276 (60)ක් ලබා ගැනීමට තරම් සටන්කාමී විය. ඒ එක පවුලක් ලෙස ක්‍රීඩා කරමිනි. උපරිමයෙන් සටන්කොට ලැබෙන පරාජය පවා ආඩම්බර ය.

1975 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම @cricketique.files.wordpress.com

එලෙසම ආසියානු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තුළ සටන් කළ මෙරට ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන ගාමිණී දිසානායක මහතාගේ දක්ෂතාවය මත 1982 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණි.

පළමු ශ්‍රී ලංකා ටෙස්ට් නායක බන්දුල වර්ණපුර (වම් කොනේ), ගාමිණී දිසානායක මහතා (මැද), ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා (දකුණු කොනේ) @cricketique.files.wordpress.com

එතැන් සිට අධික මුදල් රහිතව ධෛර්යවන්තව ක්‍රීඩා කළ මෙරට ක්‍රීඩකයන් එම තරගවාරයේ දී ම ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ 2-0ක් වශයෙනි. එහි දී සිදත් වෙත්තමුණි, සුසිල් ප්‍රනාන්දු, අශන්ත ද මෙල්, අර්ජුන රණතුංග වැනි ක්‍රීඩකයන් මව්බිම මත තම දස්කම් දැක්වීමට සමත් විය.

එතැන් සිට දැඩි උත්සාහයෙන් නැගී සිටි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන කිහිපයකටම සහභාගී වූවත් අනෙකුත් දැවැන්තයන් හා සැසඳීමේ දී ජයග්‍රහණ ලැබීම එතරම් පහසු වූයේ නැත. එහෙත් දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, රුමේෂ් රත්නායක ආදී සියලු ක්‍රීඩකයන් එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් නොමැරී ඉදිරියට රැගෙන එන්නට සමත් විය. සුළු සුළු ගැටලු පැන නැගුනත් ඒවායින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අගාධයට වැටෙන්නට කිසිවෙකුත් ඉඩ දුන්නේ නැත.

වර්ණභේදවාදය නිසා අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් පැනවී තිබූ දකුණු අප්‍රිකාව තුළ ක්‍රීඩා කිරීමට ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජීවිතාන්තය තෙක් ක්‍රිකට් තහනමකට ලක්වූ  අවස්ථාවේ දී පවා අනෙකුත් ක්‍රීඩකයන් එකතු කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන ඒමට තරම් මෙරට ක්‍රිකට් සංස්කෘතිය ශක්තිමත් එකක් විය. එක පවුලක් ලෙස ක්‍රීඩා කිරීම සහ සටන්කාමීව ක්‍රීඩා කිරීම ඒ සංස්කෘතියයි.   

1995 දී මුත්තයියා මුරලිදරන් හට නොයෙකුත් අසාධාරණ චෝදනා එල්ලවෙද්දීත් මේ පවුල්වාදය වෙනස් නොවීය. පවුලක් සේ හිඳිමින් අභියෝග ජය ගැනීම ඊට හේතුවයි. නිලධාරීන් ද, පාලනාධිකාරය ද සිටියේ ක්‍රීඩකයන්ගේ පැත්තේය. 1996 ලෝක කුසලානය එළඹෙන්නේ මේ අතරතුරයි. මෙරට පැවති යුධමය වාතාවරණය හේතුවෙන් නොයෙක් බාධක ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පැමිණිය ද පසුව ඒවා ආශිර්වාදයක්ම විය. එවකට ශ්‍රී ලංකා නායකයා වූ අර්ජුන රණතුංග, ඒ පවුල් සංස්කෘතිය ගැන පවසන්නේ මෙසේයි.

“1996 ලෝක කුසලානයට යනකොට මට ක්‍රිකට් කණ්ඩායමක් හිටියේ නෑ. මට හිටියේ ක්‍රිකට් පවුලක්. වෙනස තිබුණේ මෙතන.” ඔහු මේ “වෙනස යැයි කියන්නේ අදට සාපේක්ෂව පවතින වෙනස ගැන විය යුතුය. අද සිටිනවා ද ක්‍රිකට් පවුලක්? පිළිතුරු දීම ඔබට භාරකරමි.

ඔහු පවසන අන්දමට එකිනෙකාගේ පෞද්ගලික ජීවිත ගැන පවා පවුලේ මිතුරන් සේ හඳුනන ස්වභාවයක් එකල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර තිබී ඇත.

කිට්ටු බැඳීමක් අපේ කණ්ඩායමේ තිබුණා. සංචාරයක් යනකොට මම ගිහිල්ලා වැඳලා යන්නේ, අරවින්දගේ අම්ම ද, රොෂාන්ගේ අම්ම ද කියලා බලන්නෑ. මෙන්න මේක තමයි ලංකාවේ ක්‍රිකට් සංස්කෘතිය. අද ඒ සංස්කෘතිය අපෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා.”

ඔහු එසේ කියද්දී එකල ආඩම්බරයෙන් ක්‍රිකට් නැරඹූ අප හට බොහෝ දෑ සිහිවන බව සටහන් කළ යුතුය. අද තරම් ලැජ්ජාවෙන් ක්‍රිකට් නරඹන්නට එකල අපට පරිසරයක් නිර්මාණය වී නොතිබිණි. පරාජය පවා උපරිමයෙන් සටන්කොට, දක්ෂයා හමුවේ ලද පරාජයකි. අද ඇතැම් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා සංචාරයක් යනු “Off season” එකකි. එනම් ගේමක් නැති පුහුණු තරගයකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70 දශකයේදීවත් එවන් අවමානයන්ට ලක්වූ බවක් මා අසා නැත.

ඕස්ට්‍රේලියාවට එරෙහි 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙරදා රාත්‍රි භෝජන සංග්‍රහය ගැන ද අර්ජුනට ඇත්තේ සාඩම්බර මතකයකි. ඕස්ට්‍රේලියානුවන් යනු එවකට ක්‍රිකට් දැවැන්තයන් ය. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව සහ පතාක ක්‍රීඩකයන් යන අංශ දෙකම ඔවුන් සතු විය. එහෙත් පවුලක හයිය තිබුණේ මෙරට ළපටි ක්‍රීඩකයන්ට ය.

කණ්ඩායම් දෙකට තිබුණා එළියේ ඩිනර් එකක්. ඒ ළඟ තමයි ට්‍රෝෆි එක (කුසලානය) දාලා තිබුණේ. මම දැක්කා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අය ඇවිල්ලා පින්තූර ගන්නවා. මාත් ඇහුවා උපුල්ගෙන් (උපුල් චන්දන) හරි, කුමාර්ගෙන් (කුමාර් ධර්මසේන) හරි පින්තූර ටිකක් ගන්නැද්ද කියලා. නෑ අයියේ ඕක ගෙදර ගෙනියනවනේ අපි, ගෙදර ගිහින් ගමුකිව්වා.”

කුමාර් ධර්මසේන සහ උපුල් චන්දන යනු එවකට තරුණ ක්‍රීඩකයන් දෙදෙනෙකි. වයස අවුරුදු 20-24 සීමාවේ පසු වූ ඔවුන්ට පවා ඒ විශ්වාසය ගොඩනැගෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පවුල ශක්තිමත් එකක් වීම හේතුවෙනි. ඔවුන්ගේ වැඩිහිටියන්, පොඩිහිටියන්ට විශ්වාසය ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට දී තිබීම හේතුවෙනි.

අර්ජුනගේ 1996 ක්‍රිකට් පවුල @thuppahi.files.wordpress.com

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් වීමේ දී සෑම ක්‍රීඩකයෙකුටම නිශ්චිත රාජකාරියක් ලබා දීමේ වැදගත්කම ද අර්ජුන විසින් පැහැදිලි කෙරිණි.

සනත්ටයි කලූටයි (සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ) කියල තියෙන්නේ පළවෙනි බෝලේ ඉඳන් ගහන්න. ගුරුසිංහට (අසංක ගුරුසිංහ) කියල තිබුණේ විකට් එකක් ගිහින් තිබුණොත් ඕවර 40ක් විතර ගහන්න. අවශ්‍ය වෙලාවට කියන්නම් අවුට් වෙන්න කියලා”

ක්‍රිකට් ක්‍රීඩාවේ දී “ඇණයක් පවා” කාර්යක්ෂමව සේවයෙහි යොදාගැනීමේ කලාව නම් එයයි. මේ කලාව අද කොහි ගිහින් ද?

අරවින්දට (අරවින්ද ද සිල්වා) කියලා තිබුණා ඕන විදිහට ක්‍රීඩා කරන්න කියලා.”

මේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. අරවින්ද ද සිල්වා යනු ඒ වන විට ලොව නම් දැරූ, විදෙස් ප්‍රාන්ත සඳහා ක්‍රීඩා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු ය. ඔහුට තරගයක් වෙනස් කිරීමේ හැකියාව තිබූ බැවින් ඔහුව පූර්ණ ලෙස නිදහස් කොට තිබිණි. ඔහු එය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූයේ ලෝක කුසලානය ජය ගැනීම වෙනුවෙන් පිතිකරණයේ විවිධ හරඹ අපට පෙන්වමිනි. ඉන්දියාවේ විරාත් කෝලි, එංගලන්තයේ ජෝ රූට් මීට සමාන ය.

ඊට පස්සේ හිටියා මමයි (අර්ජුන රණතුංග), හෂානුයි (හෂාන් තිලකරත්න), රොෂානුයි (රොෂාන් මහානාම). අපි තමයි කණ්ඩායමේම කුණු අදින්නේ. විකට් ගිහාම උඩින් යන්න ඉන්නෙ අපි, විකට් නැති වෙලාවට පස්සට යන්න ඉන්නෙත් අපි, අපි තුන්දෙනා තමයි ඕක කන්ට්‍රෝල් කරන්න ගියේ.”

මෙසේ ඔවුන් තිදෙනා විසින් මැනවින් පාලනය කළ තරග 1996 – 1999 කාල පරාසය තුළ අප කොතෙකුත් දැක ඇත.ෆිනිෂර්” නැතහොත් “තරග අවසන් කරන්නා” ලෙස නිශ්චිත කාර්යභාරයක් එවකට එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී සුලබව කතාබහට ලක් නොවුනත්, අර්ජුන, හෂාන් සහ රොෂාන් එය මැනවින් ඉටුකළේය. ඉන්පසුව දියුණු ක්‍රිකට් රාජ්‍යයක් බවට පත්වූ පසු රසල් ආනල්ඩ්, ටී. එම්. ඩිල්ෂාන් වැන්නන්ද සාර්ථකව ඉනිමක් අවසන් කරන්නේ කෙසේ ද යන්න ලොව හමුවේ ප්‍රකට කළේය. එහෙත් අර්ජුන මේ සඳහන් කරන්නේ අඩු පහසුකම් යටතේ පවා එක් පවුලක් සේ ක්‍රිකට් ක්‍රීඩා කළ යුගය ගැනයි. කෙසේ හෝ 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව සතුවූයේ අඩු පහසුකම් යටතේ පවා එක් පවුලක උණුසුම මුළු රටටම දැනෙමින් තිබිය දී ය.

අර්ජුන රණතුංග 1996 ලෝක කුසලානය අතැතිව (Sportstar හි පළවූ ඡායාරූපයක්) @akm-img-a-in.tosshub.com

රොෂාන්වත් හෂාන්වත් කිව්වෙ නෑ මං නොම්මර 3 විතරයි බැට් කරන්නේ, මං නොම්මර 4විතරයි බැට් කරන්නේකියලා. මගේ ක්‍රිකට් පවුල් කණ්ඩායමේ තිබුණු වෙනස ඒකයි.”

අපේ ක්‍රීඩකයන්ට තිබුණේ කණ්ඩායමට ඕන විදිහට ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා මිස, ක්‍රීඩකයන්ට ඕන විදිහට කණ්ඩායමට ක්‍රීඩා කිරීම නෙවේ. අපිට ලෝක කුසලාන ළඟට ඇවිල්ලා තාම දිනාගන්න බැරි, මේක හදනකම් කවදාවත් අපට එතනින් ඔබ්බට යන්න බෑ.”

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එකම ලෝක කුසලානය 1996 ලෝක කුසලානය පමණක් නොවේ. 2014 විස්සයි-විස්ස ලෝක කුසලානය ද ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. නමුත් අප 1996 ගැනම කතා කරන්නේ ඇයි? 2014 ජයග්‍රහණය ලබන විට ශ්‍රී ලංකාව යනු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් පොම්ප වන, පහසුකම් සහිත ක්‍රිකට් රාජ්‍යයකි. එහෙත් 1996 යනු සම්පූර්ණයෙන්ම වෙනස් කාල පරිච්ඡේදයක් බැව් ඔබට සිහිකරමි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පවුලේ සාමාජිකයන් වූ ප්‍රේක්ෂක අප ද එකල භෞතිකව දුප්පතුන් ය. අපට ස්මාට් දුරකථන නොතිබුණේය. සෑම නිවසකම රූපවාහිනියක් තිබුණේ ද නැත. සෑම තරගයක්ම රූපවාහිනියෙන් විකාශය වූයේ ද නැත. එහෙත් පොකට් රේඩියෝව තුරුළු කරගෙන, එකම රූපවාහිනිය වටේ පවුල් දෙක තුන එකතුව, යන එන ගමන් රූපවාහිනී වෙළඳසැල් වලට හිස ඔබාගෙන තරග නරඹමින් එකම පවුලක් සේ ක්‍රිකට් වටා එක්වූ අතීතයකි එය. ඒ ක්‍රීඩකයන් අප වෙනුවෙන්ම ක්‍රීඩා කරන්නන්යයන හැඟීම අප හට ජනිත වන අයුරින් සෑම දා බිඳුවක්ම පිටිය මැද හෙලමින් ඒ ක්‍රීඩකයන් ජය ගන්නට වෙහෙස වනු දුටු අපි සැබෑ ලෙසම ඔවුන් විශ්වාස කළෙමු. එහෙත් අද? ඔවුන් ද අප ද එක් පවුලක් නොවේ.

අද ක්‍රිකට් ගැන කතා කෙරුවොත් අපි ගාමිණී දිසානායක මහත්තයට කරන්නේ ලොකු අගෞරවයක්. ඒ නිසා මං ඒ ගැන කතා නොකර ඉන්නවා.” අර්ජුන කියයි.

වත්මන් ක්‍රිකට් ගැන අපට ද තවත් කතා කරන්නට දෙයක් ඉතිරිව නැත. අඩු පහසුකම් යටතේ ලෝක කුසලාන ජයග්‍රහණයක් ලද ශ්‍රී ලංකාව, වැඩි පහසුකම් යටතේ ලෝක අනුශූරතාවන් දෙකක් සහ එක් විස්සයි-විස්ස ලෝක ශූරතාවයක් පමණක් දිනා ඇත. එක් පවුලක සහ බිඳුණු පවුලක ඇති වෙනස නම් එයයි. 2019 ලෝක කුසලානය පෙනෙන මානයේ තිබිය දී බිඳුණු පවුල නැවතත් එකක් වන දිනක් ගැන පමණක් මට සිහිනයක් ඇත. එය සිහිනයක්ම පමණක් නොවේවා!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<