ක්‍රීඩාවේ ද්වේශපාලනය

337
i.redd.it

ද්වේශපාලනය, දේශපාලනයේ දී ඔළුගෙඩි මාරු කරනවාක් මෙන් පහසු කටයුත්තක් නොවේ. තරගකාරී ඕනෑම කටයුත්තක දී සිත තුළ ඉපදිය හැකි ද්වේශය, වර්තමාන ක්‍රීඩාව තුළ ද දැඩිව පවතියි. එහෙත් ක්‍රීඩාව හා සම්බන්ධ වන ක්‍රීඩකයන්, පරිපාලකයන්, අනුග්‍රාහකයන්, පුහුණුකරුවන්, මාධ්‍ය සහ ප්‍රේක්ෂකයන් යන සියලු පාර්ශව මේ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ කෙසේ දැයි අපි සොයා බලමු.

ක්‍රීඩකයන්

firenewsfeed.com – ජිමී ඇන්ඩර්සන් සහ විරාත් කෝලි එකිනෙකාට ගෞරවය දක්වමින්

වර්තමානය වන විට ක්‍රීඩාවට සම්බන්ධව සිටින අනෙක් සියලුම පාර්ශව ඉන් ඉවත් වුවද ක්‍රීඩාව පවත්වා ගෙන යා හැකි නමුත් ක්‍රීඩාවේ පැවැත්මට ක්‍රීඩකයින් අත්‍යාවශ්‍යය. ක්‍රීඩාව ඇරඹෙන්නේ විනෝදාත්මක කටයුත්තක් ලෙස මිස අනෙකාව පරාජය කරන කටයුත්තක් ලෙස නොවේ. එහෙත් ක්‍රීඩකයන්ට උපයාගත හැකි ධනය සහ බලය නිසා ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇත. වඩාත්ම තරගකාරී ක්‍රීඩකයා අන් ක්‍රීඩකයන් පරයා ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදාකරගනියි. එබැවින් අනෙකාව වචනයෙන් හෝ තලාපෙලා, එසේත් නැත්නම් පහර දී හෝ ජයග්‍රහණය ලබා ගැනීමට ක්‍රීඩකයන් පෙලඹෙයි. වෘත්තීමය ක්‍රීඩාව තුළ ගැටුම් ඇතිවීම කෙමෙන් වර්ධනය වී තිබේ.

එහෙත් තරග පිටිය මැද දී කෙතරම් තරගකාරී වුවත් ඉන් පිටත දී මිත්‍රකම් රැකගත හැකිය. මීට උදාහරණ කිහිපයක් ලෙස ඉන්දියාවේ විරාත් කෝලි, ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටයින් වැනි ක්‍රීඩකයන් සිහි කළ හැකිය. පිටිය මැද දී මොවුන් කෙතරම් වදන් හරඹකාරයන් වුවත්, රණ්ඩු කරන්නන් වුවත්, ඔවුන් පිටියෙන් පිටත දී මිතුරන් ය. ඊටත් වඩා ඒ සියලු සටන් මැද ඔවුන් දස්කම් දක්වන්නන් ය. ඔවුන් පිටිය මැද දී තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගත යුතුය. ද්වේශය පාලනය කර ගැනීම ඇතැම් විට ඔවුනට අමතකව යන්නේ එබැවිනි.

එහෙත් ලෝක ප්‍රකට ක්‍රීඩකයන් පිටිය මත දී පෙන්වන දැඩි ආක්‍රමණශීලීභාවයට පසු තත්වය දෙස විමසුම් ඇස යොමුකළහොත් ඉන් බොහෝ දෙනෙකු ඉතාම හොඳ මනුෂ්‍යයන් ය. එබැවින් ඔවුන්ව අනුගමනය කරන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවබෝධ කොටගත යුත්තේ තරගකාරීත්වය රඳවා ගැනීමට කරන යම් යම් දේ තරගය තුළ දී පමණක් භාවිත වන ඒවා බවයි. කරළිය මත දී සටන රඟදක්වා ඉන් පිටත දී එකිනෙකා වැළඳගන්නා දේශපාලනය ද එවැන්නක්ම බැව් සිහිවුවත් ක්‍රීඩාව පිළිබඳ වැදගත් ලිපියක් ලියන්නට වෑයම් කරන මා ඊට මඩ එක්කළ යුතු නැත. ජයග්‍රහණය හෝ පරාජය කෙසේ වෙතත් එකිනෙකාට ගෞරවයෙන් ක්‍රීඩා කරන ලද අවස්ථා ඉතිහාසයට එක්වන සිදුවීම් වේ. ක්‍රීඩා පිටිය මැද දී ද්වේශය පාලනය කරගැනීමට එයම පිටිවහලකි.

පරිපාලකයන්

relaunch-live.s3.amazonaws.com – ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හමුවීමක්

ඇතැම් අවස්ථාවල දී ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ දැඩි වචන සහ ඉල්ලීම් නිසා හෝ දැඩි හැසිරීම නිසා අගතියට පත්වන පාර්ශවයක් ලෙස පරිපාලකයන්ව හැඳින්විය හැකිය. එහෙත් ක්‍රීඩකයන් හෝ පුහුණුකරුවන්ගේ ක්ෂණික ප්‍රතිචාර මත ද්වේශ කිරීම සුදුසු නොවේ.

එසේ පෞද්ගලික තරහ-මරහ මත ක්‍රීඩකයන් හා කටයුතු කිරීමට යාමෙන් ක්‍රීඩාවට එක්විය යුතු වටිනාකම් රාශියක් ඊට අහිමි විය හැක. එනිසා ද්වේශපාලනය පරිපාලනයට ද ඉතා වැදගත් ය. ද්වේශය පාලනය කළ යුත්තේ පරිපාලකයාගේ රාජකාරිය ව්‍යවස්තානුකූලව සිදු විය යුතු බැවිනි. ඊට එපිටින් ද්වේශය මත පිහිටා කටයුතු කිරීම නිසා ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් අගතියට පත්විය හැක. මීට හොඳම උදාහරණයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආධිපත්‍යයේ බිඳවැටීම සටහන් කළ හැකිය. ’70 සහ ’80 දශකවල දී ක්‍රිකට් අධිරාජ්‍යයක් වූ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ක්‍රිකට් පරිපාලකයන්, ’90 දශකය තුළ දී යම් යම් ක්‍රීඩකයන් මත ඇතිකරගත් ද්වේශය මත ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම සහ නුසුදුස්සන් ඊට ඇතුළත් කිරීම නිසා ඒ අධිරාජ්‍යයම බිඳ වැටිණි. අද ඔවුනට ඉතිරිව ඇත්තේ ඔවුන් සතු දක්ෂතමයන්ගෙන් කිහිප දෙනෙකු පමණි.

අනුග්‍රාහකයන්

relaunch-live.s3.amazonaws.com – Vivo ආයතනය ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ

ක්‍රීඩාවට අනුග්‍රාහකත්වය දැක්වීම වැදගත් කාරණයකි. එය ව්‍යාපාරික වශයෙන් තීරණාත්මක වන අතරම ක්‍රීඩාමය වශයෙන් ද වැදගත් ය. එහි දී ඇතැම් විට සාර්ථක විය හැක. ඇතැම් විට අසාර්ථක විය හැක. ඇතැම් විට පරිපාලකයන් හා ගැටලු ද ඇතිවිය හැක. එහෙත් අනුග්‍රාහකයන් ද ද්වේශපාලනය ඇතිකරගැනීම ක්‍රීඩාවේ උන්නතිය කෙරෙහි දැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇත.

අනුග්‍රාහකයන්, ක්‍රීඩාවට අනුග්‍රාහකත්වය දැක්වීම වෙනුවට එහි පාලනය සියතට ගන්නට තැත්කරන්නේ නම් එය ද නුසුදුසුය. හොඳම දේ නම් ඇතිවන අපහසුතා ගැන ද්වේශ නොකොට ක්‍රීඩාවේ උන්නතිය සඳහා කැපවෙමින් ලාභ ද ඉපයීමයි.

පුහුණුකරුවන්

newsatspeed.com – ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මැතිව් මොට්

පුහුණුකරුවන් සහ පුහුණු කාර්යමණ්ඩල ද ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පාර්ශවයකි. ඔවුන් පරිපාලකයන් කෙරෙහි හෝ ක්‍රීඩකයන් කෙරෙහි දක්වන ද්වේශය පාලනය කර ගැනීම අත්‍යාවශ්‍ය ය. උදාහරණයක් ලෙස පාසල් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක තරග ජයග්‍රහණයකට පසුව පුහුණුකරුවාගේ නම මාධ්‍ය හමුවේ ප්‍රකාශ නොකිරීම පිළිබඳ ද්වේශයක් ඇතිවිය හැක. මෙය ඉතා සුළු සිදුවීමකි. එහෙත් බහුලව සිදුවන්නකි. එසේ ඇති වන ද්වේශ සහගත සිතුවිල්ලක් රටට වැඩදායී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක අදක්ෂයෙකු බවට පත්කිරීම දක්වාම ඇදී යා හැකිය.

ඇතැම් පුහුණුකරුවන්, පරිපාලකයන් වෙත ද අන් පාර්ශවයන් වෙත ද දක්වන ද්වේශය ක්‍රීඩකයන්ට ඉදිරියට යා හැකි අවස්ථාවන් අහුරාලනු අප දැක ඇත. එනිසා පුහුණුකාරීත්වය ද ප්‍රවේසමෙන් සිදු කළ යුත්තකි. ඉවසීම අත්‍යාවශ්‍ය ය. තමන්ට වඩා තම ගෝල බාලයන් බැබළෙනු දකින පුහුණුකරුවන් සදා ශ්‍රේෂ්ඨ ය. එවැන්නන් ද අපට කොතෙකුත් හමුවී ඇත.

මාධ්‍ය

images.theconversation.com – මාධ්‍යය කෙසේද යත්…

ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ දක්ෂතා මෙන්ම ඔවුන් මුහුණපාන ගැටලු ද ජනතාව අතරට ගෙන යාම මාධ්‍යට අයත් වගකීමයි. එහි දී ඔවුනට මුහුණපාන්නට සිදුවන දෑ බොහොමයකි. ක්‍රීඩකයන්ගෙන්, පරිපාලකයන්ගෙන්, ඇතැම් විට අනුග්‍රාහකයන්ගෙන් නැත්නම් ප්‍රේක්ෂකයන්ගෙන් වුවද බාධා එල්ල වන අවස්ථා තිබිය හැකියි. ඒ පිළිබඳ ද්වේශයෙන් කටයුතු කළහොත් සිදුවන්නේ මාධ්‍යයෙන් ඉටු විය යුතු වගකීම පැහැරහැරී නුවුවමනා ක්ෂේත්‍රයන් වෙත මාධ්‍යවල අවධානය යොමු විය හැකිය. එවිට ක්‍රීඩාව ඉදිරියට යෑමක් සිදුවන්නේ නැත.

ප්‍රේක්ෂකයන්

TRUE Africa – පැසිපන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් හට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන අයුරු

ක්‍රීඩාව තුළ දී ද්වේශය පාලනය කර ගත යුතු ප්‍රමුඛතම පිරිසකි ක්‍රීඩා ප්‍රේක්ෂකයන්. තරග පරාජය වන විට සහ බලාපොරොත්තු සුන්වන විට ප්‍රේක්ෂකයන්ට ඒ පිළිබඳව නොසතුටක් ඇතිවීම ස්වාභාවික ය. තමන්ගේ වටිනා කාලය කැපකරමින්, ආර්ථික පිරිවැයක් දරමින් ක්‍රීඩකයන්ව දිරිගන්වන ප්‍රේක්ෂකයින් ඇතැම් විට ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රීඩාව හා බැඳී සිටින්නන් ය. බ්‍රිතාන්‍යයේ පාපන්දු ප්‍රේක්ෂකයින් එවැනි පිරිසකි. ප්‍රතිවාදී ප්‍රේක්ෂකයන් සමඟ ද්වන්ද සටන් පවා කරමින් තරග නරඹන සංස්කෘතියක් එහි ඇත. එහෙත් ක්‍රීඩකයන් සහ පරිපාලකයන් නිසි ලෙස තමන්ගේ රාජකාරිය ඉටුනොකරන විට ඒ ගැන උරණ වන ප්‍රේක්ෂකයන් ආසියාකරය තුළ ඇත.

පසුගිය වසර තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි ද එවැනි නොකැමැත්තක් ප්‍රදර්ශනය කරන්නට මෙරට ප්‍රේක්ෂකයන් උත්සුක විය. ඊට හේතුව දිගින් දිගටම තරග පරාජය වීමයි. එහෙත් ක්‍රීඩාව ගැන මධ්‍යස්ථ මත දරන්නන් ලෙස අප ඔවුන්ව තල්ලු කළ යුත්තේ තමන්ගේ ද්වේශය පාලනය කරගතහැකි තැනකට ය.

අවසානය

අවසන් වශයෙන් සටහන් කළ යුත්තේ ක්‍රීඩාව යනු වෛරය, ද්වේශය, ඊර්ෂ්‍යාව ප්‍රදර්ශනය කරන අංගයක් නොවන බවත් ආදරය, ගෞරවය සහ නිහතමානිත්වය ප්‍රදර්ශනය කරන අංගයක් බවත් ය. ඉහත සඳහන් කළ පාර්ශවයන් එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රතිචාර සමස්ත ක්‍රීඩාව වෙත දක්වන බලපෑම සුළුපටු නොවේ. එබැවින් සියලු දෙනා, සියලු දෙනා වෙත අවබෝධාත්මක ඇසකින් බැලීම සහ විශ්වසනීයත්වය ගොඩනගාගැනීම රටක පමණක් නොව මුළුමහත් ලෝකයකම ක්‍රීඩාව ගෞරවනීය අංගයක් බවට පත්කරනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<