ඇමරිකානු කෙටිදුර ශූරයා ක්‍රීඩා දිවියට සමුදෙයි

276
Justin Gatlin

ලොව බිහි වූ සටන්කාමී ම සහ ප්‍රබලතම කෙටිදුර ධාවන ශූරයෙකු වන ඇමරිකානු ක්‍රීඩක Justin Gatlin තමන් ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.

සිය Instagram ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබමින් ධාවන ශූර Justin Gatlin ප්‍රකාශ කර තිබුණේ,

ආදරණීය ධාවන පථය, මම ඔබට ආදරය කළා. ඔබ මට සතුටු මෙන්ම දුක් කඳුළු ගෙන ආවා. ඒ වගේම ඔබගෙන් මම ඉගෙන ගත්ත දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ” යනුවෙනුයි.

 

View this post on Instagram

 

A post shared by Justin Gatlin (@justingatlin)

කුඩා කල සිටම මලල ක්‍රීඩාවේ ඉහළ දස්කම් දැක්වූ Justin Gatlin සිය උසස් අධ්‍යාපනය හදාරන සමයේ කෙටිදුර ධාවනයට යොමුවෙමින් ඉතා ඉක්මනින්ම එහි කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත්වුනා.

කෙසේ නමුත් 2001 වසරේ දී ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම නිසාවෙන් ඔහුට වසර දෙකක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර ඔහු නැවතත් ක්‍රීඩා පිටියට පැමිණියේ 2003 වසරේ දීයි.

සිය නැවත පැමිණීම ඉතා ඉහළින් සටහන් කළ Gatlin වසරේ දී ගෘහස්ථ මීටර් 60 ලෝක ශූරයා බවට පත්වීමට සමත් වූ අතර ඔහු කෙටි කලක් තුළ දැක්වූ දස්කම් නිසා ඔහුට 2004 ඔලිම්පික් වරම් හිමි වුනා.

සිය පළමු ඔලිම්පික් ගමනම තමන්ගේ කර ගත් Gatlin එහි මීටර් 100 ඔලිම්පික් කිරුළ දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එම තරගාවලියේ මීටර් 200 ලෝකඩ පදක්කම සහ මීටර් 100X4 රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

2005 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 100 ලෝක ශූරයා වීමට ද සමත් වූ Gatlin 2006 වසරේ පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 9.76ක කාලයකින් අවසන් කරමින් ලෝක වාර්තාව පිහිටුවීම සමත් වුනා.

නමුත් 2006 වසරේ දී නැවත වතාවක් ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම නිසාවෙන් වසර 8ක තරග තහනමක් ඔහුට පැනවීමට තීරණය කළත්, පසුව එය වසර 4ක් දක්වා අඩු කිරීමට බලධාරීන් තීරණය කළා.

එම සිදුවීමෙන් පසුව Justin Gatlinහට ප්‍රේක්ෂකයන්ගේ අවමාන චෝදනා දිගින් දිගටම එල්ල වූ අතර ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියා පවා ඔහුව සදාකාලිකව තහනම් කළ යුතු බව ප්‍රකාශ කර තිබුණා.

නමුත් එම සිදුවීම් සියල්ලටම හැකියාවෙන් පිළිතුරු දීමට සිතා ගත් Gatlin ඉතා ඉක්මනින් සුපුරුදු දස්කම් අතරට පැමිණි අතර ඔහුව එවකට කෙටිදුර ධාවන පිටිය තමන්ගේ කරගෙන සිටි ජැමෙයිකානු ක්‍රීඩක Usain Boltට සිටි ප්‍රබලතම ප්‍රතිවාදියා ද වුනා.

නැවත පිටියට පැමිණීමෙන් පසුව 2012 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගත් ඔහු 2016 ඔලිම්පික් උළෙලෙහි රන් පදක්කම දිනා ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත් තියුණු සටහනකින් පසුව Bolt හමුවේ පසුබැසීමට Gatlinට සිදු වුනේ රිදී පදක්කමකින් සෑහීමකට පත්වෙමිනුයි.

ඒත් සිය උත්සහය අත්නොහැරි Gatlin 2017 ලෝක ශූරතාවයේ දී Usain Bolt පරාජයට පත්කර නැවත වරක් ලෝක ශූරයා බවට පත්වීමට සමත් වුනේ සිය වසර ගණනක උත්සහය සාර්ථක කරගෙනයි.

එම ජයග්‍රහණයෙන් පසු ඔහු Usain Boltහට ධාවන පථයේ දණනවා ආචාර කරනු දක්නට ලැබූ අතර එම සිදුවීමෙන් පසු ඔහුට චෝදනා එල්ල කළ ප්‍රේක්ෂකයන් පවා Gatlinට ප්‍රසාදය පලකර තිබීම කැපී පෙනුණා.

Justin Gatlin සහ Usain Bolt 2017 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී.  Image Courtesy: AFP

සිය වයසට අභියෝග කරමින් දිගින් දිගටම දස්කම් තුළ සිටි Gatlin 2019 වසරේ පැවති ලෝක ශූරතාවයේ දී ද මීටර් 100 රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ඔහු 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් බලාපොරොත්තුවක් ලෙස බොහෝ දෙනා හැඳින්වුවත්, ඔලිම්පික් උළෙලට ආසන්නයේ දී සිදු වූ ආබාධයක් නිසාවෙන් ඔහුට එයට සුදුසුකම් ලබාගැනීමට හැකි වුනේ නැහැ.

ඔහු මෙම වසරේ පැවැත්වෙන ලෝක ශූරතාවයෙන් පසුව ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව මීට පෙර ප්‍රකාශ කර තිබුනත්, එම ආබාධ තත්වය නිසා සිය වසර 20කට ආසන්න වෘත්තීය ක්‍රීඩා දිවියට සමුදෙන බව ඔහු ඊයේ (11) ප්‍රකාශ කළා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<