Eriksen සිහිසුන්ව ඇදවැටෙයි; ෆින්ලන්තයට සහ බෙල්ජියමට ජයග්‍රහණ

Euro 2020

162

යුරෝපා පාපන්දු ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ මූලික වටයේ තවත් තරග කිහිපයක් අද (13) නිමාවට පත්වුනා.

එහි දී ස්විස්ටර්ලන්තය සහ වේල්සය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර අනෙක් තරගවලින් ඩෙන්මාර්කය සහ රුසියාව පරාජය කරමින් ජයග්‍රහණ ලබා ගන්නට ෆින්ලන්තය සහ බෙල්ජියම සමත් වුනා.

Wales – Switzerland

ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Breel Embolo සහ වේල්ස් ක්‍රීඩක Kieffer Mooreගේ අලංකාර ගෝල නිසා තරගය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වුනා. තරගයේ පැවතියේ Olympic Stadium, Baku ක්‍රීඩාංගණයේ දීයි.

තරගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩාවිලාශයක් පෙන්නුම් කිරීමට ප්‍රබල ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයන් සමත් වූ අතර 21 වැනි මිනිත්තුවේ දී Fabian Schar විසින් ගෝලයට එල්ල කළ පහරක් ඉතා විශිෂ්ට ලෙස වළක්වන්නට වේල්ස් ගෝල රකින්නා සමත් වුනේ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයන්ගේ සැමරීම සුළු වේලාවකට සීමා කරමින්.

සිය ප්‍රතිවාදීන් හට තරමක අභියෝගයක් එල්ල කිරීමට වේල්ස් ක්‍රීඩකයන් සමත් වුනත් ගෝලයක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ. එම අර්ධයේ අවසාන මිනිත්තු කිහිපයේ දී ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Haris Seferovic හට ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථා ද්විත්වයක් මගහැරීම නිසා ගෝල රහිතව පළමු අර්ධය නිමා වුනා.

තරගයේ පළමු ගෝලය රැස්කිරීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Breel Embolo සමත් වුනේ තරගයේ 49 වැනි මිනිත්තුවේ දීයි. ඒ පැතිපහර අවස්ථාවක් මගින් Xherdan Shaqiri යොමු කළ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින්.

එම ගෝලයට පිළිතුරු ලෙස තරගයේ 74 වැනි මිනිත්තුවේ දී වේල්ස් ක්‍රීඩක Joseff Morrell දඬුවම් රාමුවට එල්ල කළ පන්දුවක් අලංකාර ලෙස හිසින් ගෝලයට ස්ථාන ගත කිරීමට Kieffer Moore සමත් වුනේ තරගය නැවතත් සිය කණ්ඩායමට විවර කරමින්.

තරගයේ 85 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවට ලද පන්දුවක් ගෝලය වෙත එල්ල කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Mario Gavranovic සමත් වූ නමුත් විනිසුරුවරයා VAR තාක්ෂණය ඔස්සේ නැවතත් එම අවස්ථාව නැරඹීමෙන් පසු එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් ලෙස තීරණය කළේ ස්විස්ටර්ලන්තය ක්‍රීඩකයන්ගේ සතුට සුළු මොහොතකට සීමා කරමින්.

අවසන් ලකුණු තත්වය: ස්විස්ටර්ලන්තය 01 – 01 වේල්සය 

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • ස්විස්ටර්ලන්තය – Breel Embolo 49’
  • වේල්සය – Kieffer Moore 74’

Denmark – Finland

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ඩෙන්මාර්ක් ක්‍රීඩක Pierre-Emile Hojbjerg හිසින් එල්ල කළ පහරක් අති දක්ෂ ලෙස නවතාලීමට ෆින්ලන්ත ගෝල රකින ක්‍රීඩක Lukas Hradecky සමත් වුනා.

ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන්ගේ හදවත් මොහොතකට නතර කරමින් තරගයේ 43 වැනි මිනිත්තුවේ දී ඩෙන්මාර්ක් ක්‍රීඩක Christian Eriksen එකවරම ක්‍රීඩා පිටියේ ඇදවැටීම නිසාවෙන් ඔහුව සැණින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළා. 

සිය සහෝදර ක්‍රීඩකයාට පිටිය තුළ ප්‍රතිකාර ලබා දීමේ දී ඔහු වටා අනෙකුත් ක්‍රීඩකයන් පවුරක් සේ සිටගනිමින් ආවරණය ලබා දීම සැමගේ දෙනෙතට කඳුළක් එක්කරන්නට වූ අතර සියලු පාපන්දු රසිකයින් ඔහුට ඉක්මන් සුවය පතා සමාජ මධ්‍ය ඔස්සේ පණිවිඩ විශාල ප්‍රමාණයක් තබා තිබුණා.

කෙසේ නමුත් මේ සිදුවීම නිසාවෙන් තරගය අවලංගු කිරීමට තරග තීරකයන් තීරණය කළ නමුත් ඔහුගේ තත්වය යහපත් බව වෛද්‍යවරුන් දැනුම් දීමෙන් අනතුරුව ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත තරගය නැවත ආරම්භ කිරීමට කටයුතු කළා.

පළමු අර්ධයේ අවසන් කාලයේ දී ගෝලයක් ලබා ගැනීමට කිසිවෙකු සමත් නොවූ අතර 60 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස්කිරීමට ෆින්ලන්ත ක්‍රීඩක Joel Pohjanpalo සමත් වුනා. ඒ Jere Uronen විසින් යොමු කළ පන්දුවක් ගෝල රාමුව ආසන්නයේ සිට හිසින් ගෝලයට යොමු කරමින්.

එයට පිළිතුරු ලෙස ගෝලයක් ලබා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ඩෙන්මාර්ක් ක්‍රීඩකයන්ට හිමි වුනේ තරගයේ 73 වැනි මිනිත්තුවේ දී ෆින්ලන්ත ක්‍රීඩකයෙකු දඬුවම් සීමාවේ දී සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහර අවස්ථාවකිනි. නමුත් දඬුවම් පහර සාර්ථක කරගැනීමට ඩෙන්මාර්ක් ක්‍රීඩක Pierre-Emile Hojbjerg හට හැකි වුනේ නැහැ.

මුළු තරගය පුරාවටම ඉතාමත් හොඳ ක්‍රීඩා විලාශයක් ඩෙන්මාර්ක් ක්‍රීඩකයන්ගෙන් දක්නට ලැබුණු නමුත් කිසිඳු ගෝලයක් ලබා ගැනීමට ඔවුන් අසමත් වීම නිසාවෙන් ගෝල 1-0ක් ලෙස පෙරළිකාර ජයක් ලබා ගැනීමට ෆින්ලන්ත ක්‍රීඩකයන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ෆින්ලන්තය 01 – 00 ඩෙන්මාර්කය

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • ෆින්ලන්තය – Joel Pohjanpalo 60’

Belgium – Russia

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් පළමු ගෝලය 10 වැනි මිනිත්තුවේ දී රැස් කිරීමට බෙල්ජියම් සුපිරි ක්‍රීඩක Romelu Lukaku සමත් වුනා. ඒ ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ලබා ගත් පන්දුව ගෝල රාමුවේ දකුණු කෙළවරින් ගෝලය වෙත යොමු කරමින්.

එම ගෝලය ලබා ගැනීමෙන් පසු සිය ප්‍රතිවාදීන්ට එරෙහි ආක්‍රමණය වැඩි කළ බෙල්ජියම් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කිරීමට Thomas Meunier සමත් වුනේ දඬුවම් රාමුව තුළ දී තමා වෙත පෙරළා පැමිණි පන්දුවක් ගෝලයට යොමු කරමින්. ඒ තරගයේ 34 වැනි මිනිත්තුවේ දීයි.

පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් රැස්කිරීමට රුසියාව සමත් නොවූ නිසා තරගයේ පළමු අර්ධය බෙල්ජියමට වැඩි ගෞරව ගෙන දෙමින් අවසන් වුනා.

දෙවැනි අර්ධයට පිවිසි රුසියානු ක්‍රීඩකයන් පෙර අර්ධයේ සිදු වූ අඩුපාඩු මගහරවා ගනිමින් තරමක සටනක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සමත් වුනත්,  88 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ බෙල්ජියම් ක්‍රීඩක Romelu Lukaku දිනයේ සිය දෙවැනි ගෝලයත් රැස්කිරීමට සමත් වන්නේ තරගයේ ජයග්‍රහණය ද තහවුරු කරමින්.

අවසන් ලකුණු තත්වය: රුසියාව 00 – 01 බෙල්ජියම

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • බෙල්ජියම – Romelu Lukaku 10’ & 88’, Thomas Meunier 34’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<