කුමාර් සංගක්කාර කළේ වංචාවක් ද?

Unheard World Cup Stories | Part 12

11534

මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.  

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ දොළොස්වැන්න හෙවත් අවසන් ලිපිය. 

2011 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ ඉන්දියානු උපමහද්වීපයේ. හරියටම කිව්වොත් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ සම සත්කාරකත්වයෙන්. එවර තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඉන්දීය කණ්ඩායම. 

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඇරඹුණේ යම් ආන්දෝලනාත්මක සිද්ධියක් එක්ක. 

ඒ තමයි අවසන් තරගයේ දී කාසියේ වාසිය දෙවරක් උරගා බලපු සිදුවීම. 

අවසන් මහා තරගය වෙනුවෙන් කාසියේ වාසිය උඩ දැමීමේ දී ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර කියූ දෙය තමාට ඇසුණේ නැතැයි තරග තීරක නවසීලන්ත ජාතික ජෙෆ් ක්‍රෝ සහ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රකාශ කිරීමෙන් පසු කාසිය දෙවැනි වතාවටත් උඩ දැමීමට සිදු වුනා 

වන්කඩේ ක්‍රීඩාංගණය ඒ වන විටත් එහි ධාරිතාවේ උපරිමය දක්වා පැමිණ තිබුණේ නැහැ. එමෙන්ම ප්‍රේක්ෂකයින් නගන ඝෝෂාව  එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබුනෙත් නැහැ. 

කාසියේ වාසිය උරගා බලන අවස්ථාව වෙනුවෙන් විස්තර විචාරයේ යෙදී සිටි රවී ශාස්ත්‍රි පැවසුවේ කාසියේ හෙඩ්ස් (Heads) පැත්ත වැටී ඇති බවයි. එවිට ක්‍රෝ තමාට ඇමතුම නිසි පරිදි නොඇසුන බවත්, එබැවින් ක්‍රියාත්මක වූ කාසියේ වාසිය ශූන්‍ය බවත් පැවසීමත් සමඟ සුළු ව්‍යාකූලත්වයක් ඇති වුනා 

ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි නැවතත් කාසිය උඩට විසිකරද්දී සංගක්කාර ‘හෙඩ්ස්’ ඉල්ලූ අතර කාසිය ශ්‍රී ලංකාවේ වාසියට වැටුණා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කළා.

කුමාර් සංගක්කාර සහ මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය උරගා බලමින්

මේ සිද්ධියේ දී බොහෝමයක් ඉන්දියානුවන් ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගේ ක්‍රියා කලාපය ගැන බැලුවේ වපර ඇහැකින්. ඉන්දියානුවන් විතරක් නෙවෙයි ක්‍රිකට් ගැන සෑහෙන දැනුමක් ඇති ශ්‍රී ලාංකිකයින් පවා හිතුවේ සංගක්කාර ඒ වෙලාවේ කිසියම් උප්පරවැට්ටියක් භාවිතා කළ බව. 

නමුත් එදා රූපවාහිනී ප්‍රතිරූපන වලින් පෙනී ගොස් තිබුණේ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පළමු අවස්ථාවේ දී ම නිවැරදිව කාසියේ වාසිය ඉල්ලූ බවක්. එමෙන්ම ESPN-Star Sports නිෂ්පාදක කණ්ඩායමට පැහැදිලිව සංගක්කාර මුලින්ම ඉල්ලූ හෙඩ්ස් යන ඉල්ලීම පැහැදිලිව ශ්‍රවණය වී තිබුණා. 

පහුකාලෙක කුමාර් සංගක්කාර, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක දී ඇත්තටම එදා සිදු වූ දේ ගැන යම් පැහැදිලි කිරීමක් කළා. 

“මම දැක්කා කාසියේ වාසිය දෙපාරක් දානවා. මම ඒ වෙලාවේ හිටියේ ක්‍රීඩක විවේකාගරයේ. මම ඇතුළට ගියාම පුහුණුකරු අහද්දී දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. ඇත්තටම එදා මොකක්ද වුනේ?” අශ්වින් සංගක්කාරගෙන් විමසා සිටියා. 

“එදා ක්‍රීඩාංගණයට පැමිණ හිටපු ප්‍රේක්ෂකයින්ගේ විශාල ඝෝෂාව නිසා තමයි එවැන්නක් සිදු වුනේ. ලංකාවේ නම් කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මට ඉන්දියාවේ දී දෙපාරක් එහෙම වුනා. 

මහී (මහේන්ද්‍ර සිං දෝනි) කාසිය උඩ දැම්මාම මම ඉල්ලුවේ හෙඩ්ස්. එවෙලේ මහී ඇහුවා ඇත්තටම ඔබ ඉල්ලුවේ හෙඩ්ස් නෙවෙයි නේද කියලා. මම කිව්වා මම ඉල්ලුවේ හෙඩ්ස් කියලා. 

මම හිතන්නේ තරග තීරකවරයාගේ අදහස වුනෙත් මම කාසියේ වාසිය දිනා ගත් බව. නමුත් මහී එයට කැමැත්තක් දැක්වූයේ නැහැ.  

‘නෑ නෑ. ඔහු දිනුවේ නැහැ කියලා’ මහී කිව්වා. 

මේ කාරණාව නිසා නැවත කාසියේ වාසිය උරගා බලන්න අපිට සිදු වුනා. එවරත් මා ඉල්ලූ පරිදිම කාසියේ හෙඩ්ස් පැත්ත පතිත වුනේ. 

මම කාසියේ වාසිය දිනපු එක වාසනාවන්ත ද කියලා මට විශ්වාස නෑ, මොකද මම පැරදුණා නම් සමහර විට ඉන්දියාව එදා මුලින්ම බැට් කරන්නත් ඉඩ තිබුණා.” 

මහේල ජයවර්ධන සිය ශතකය වාර්තා කර ගැනීමෙන් අනතුරුව

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට සිත් සේ ලකුණු රැස් කිරීමට ඉන්දියානු පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉන්දියානු පන්දු රකින්නන් අතරින් වඩාත්ම කැපී පෙනුණේ යුව්රාජ් සිං සහ සුරේෂ් රයිනා. 

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ 17 වැනි ඕවරය දක්වා සෙමින් ලකුණු රැස් කළ අතර ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ලකුණු 48කට දැවී යාමට පෙර මහේල ජයවර්ධන සමඟින් ලකුණු 62ක සබඳතාවයක් එක් කළා.  

එක් අන්තයක දිගින් දිගටම කඩුලු බිඳ වැටුණ ද ජයවර්ධන පන්දු 88කදී අනර්ඝ ලකුණු 103ක් රැස් කළා. සිය පන්දුවාර පනහ අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 274ක් ලෙස දිස්වුනා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සේවාග් ඉනිමේ දෙවැනි පන්දුවේ දී ම ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා. 

සචින් තෙන්ඩුල්කාර් ද ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාර අතට උඩපන්දුවක් දී ඉක්මනින්ම දැවී ගියා. මේ අවස්ථාවේ දී ක්‍රීඩාංගණයේ සිටි ඉන්දීය ක්‍රීඩාලෝලීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ආකාරය දැකගන්න පුළුවන් වුනා. 

ඊළඟට කඩුල්ලේ එක්වූ ගෞතම් ගාම්භීර් සහ විරාත් කෝලි ඕවර 15ක දී ලකුණු 83ක් එක් කළ අතර කෝලි 22 වැනි පන්දු වාරයේ දී තිලකරත්න ඩිල්ෂාන් යැවූ පන්දුවකට ඩිල්ෂාන් අතටම උඩපන්දුවක් ලබා දී දැවී ගියා.  

ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි තම අනුපිළිවෙළ ඉහළ නංවමින් ගාම්භීර් සමඟ එක් වූ අතර ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට අගනා ලකුණු 109ක් එක් කළ අතර ගාම්භීර් 42 වැනි පන්දු වාරයේ දී ලකුණු 97 රැස් කර සිටිය දී දැවී ගියා.  

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ඉලක්කය සාර්ථකව හඹා ගිය ඉන්දියානු කණ්ඩායම 49 වැනි පන්දු වාරයේ දී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී කඩඉම පසුකර ගියා. නොදැවී ලකුණු 91ක් ලබා ගත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි දෝනි තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර ඔහුගේ සටන් සගයා වන යුවරාජ් සිං තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම එදා වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ලද පරාජය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ හදවතට වේදනාවක් ගෙන දෙන්නක් වනවා. 

ESPN Cricinfo සහ රවිචන්ද්‍රන් අශ්වින්ගේ YouTube චැනලයේ විකාශය වූ වැඩසටහනක් ඇසුරෙනි. 

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<