කුප්‍රකට ලෙදර් ජැකට්ටුවේ ටෙස්ට් තරගය

168
Getty Images

90 දශකයේ බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වලට තිබූ ප්‍රබලතම අභියෝගයන්ගෙන් එකකි දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව තරග ජය ගැනීම. දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස නායක හැන්සි ක්‍රෝන්යේ හැඳින්විය හැක.

දකුණු අප්‍රිකානුවන්ට බොහෝ ජාත්‍යන්තර තරග ජය ගැනීමට හැකි වුනේ ක්‍රෝන්ජේගේ අතිවිශිෂ්ට මග පෙන්වීම නිසාය. දැන දැනම වරදේ නොබැඳෙන්නට අද ක්‍රෝන්ජේ ක්‍රිකට් පුරාවෘත්තයකි.

ක්‍රිකට් ලෝක කුසලානයක පහස ඉන්දියාවට ලබා දුන් ‘ජිමී’

ඉදිමුණ තොල් සගලකින් ද, ලේ තැවරුණ කමිසය ද…

1999/00 තරගවාරයේ තරග පහකින් සමන්විත එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ පස්වැනි තරගය සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් හීදී ආරම්භ කරන විට තරග 2-0 ලෙස පෙරමුණේ පසුවන්නට හැන්සි ක්‍රෝන්යේගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව සිටියහ.

2000 ජනවාරි 14 වැනිදා ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක නසාර් හුසේන් වේගපන්දු යන්නන්ට මනා සහයක් පලකළ තණතිල්ලක පළමුව පන්දුවට පහර දීමේ වාරය දකුණු අප්‍රිකානුවන්ට භාර කළේය. ජොන්ටි රෝඩ්ස් හා ඇලන් ඩොනල්ඩ් ආබාධිත තත්වයෙන් පසු වූ අතර එංගලන්ත කණ්ඩායමේ ඇන්ඩෲ ෆ්ලින්ටොප් ද ආබාධයකට ලක්වීමෙන් මෙම තරගයට සහභාගි නොවිය.

නායකයාගේ තීරණයට නිවැරදි බැව් පසක් කරමින් ලකුණු 55 සීමාවට ළඟා වෙද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල කඩුලු හතරක් ක්‍රීඩාගාරයට යවන්නට එංගලන්ත වේගපන්දු සමත්කම් දක්වා තිබුණි. 

තරමක් දුරට හෝ සාර්ථකත්වයක් පල කළ ඩැරල් කලිනන් රෝඩ්ස් වෙනුවට මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පීටර් ස්ට්‍ර්යිඩොම් සමග සබඳතාවයක් ගොඩනගමින් යාන්තමින් ලකුණු සියයේ සීමාවට දකුණු අප්‍රිකාව ගෙන ඒමට සමත්වුවද එංගලන්ත පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුකරගෙන පළමු දිනය නිමා වන විට අප්‍රිකානු ලකුණු පුවරුව 155/6ක් ලෙස දිස්විය. හයවැනි කඩුල්ල ලෙස දැවී ගිය කලිනන් වටිනා ලකුණු 46ක් දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් එක්කර තිබුණි.

එතැන් පටන් තරගයේ දෙවැනි තෙවැනි සහ සිව්වැනි දින සියල්ල වර්ෂාව හේතුවෙන් සේදී ගිය අතර ජය පරාජයෙන් තොරව නිමාව දකින බවට කිසිදු සැකයක් නොවීය. 

තරගයේ පස්වැනි දිනය නැරඹීම වෙනුවෙන් පිටියට පිවිසෙන ප්‍රේක්ෂකයන්ට ජය පරාජයෙන් තොරව විසඳෙන තරගයකින් එහා යමක් සිතේ තිබුණේ නැත.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක හැන්සි ක්‍රෝන්යේ තරගයේ ජීවය තවදුරටත් රැක ගැනීමට අපූරු යෝජනාවක් ගෙන එන්නේ මේ අවස්ථාවේ දී ය. එංගලන්ත නායක ඇලෙක් ස්ටුවර්ට් හමුවන හැන්සි ක්‍රෝන්යේ දකුණු අප්‍රිකානු ඉනිම ඒ අවස්ථාවේ අත්හිටු වීමටත් එංගලන්ත පළමු ඉනිම සහ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම් ලකුණු නොමැතිව අත්හිටවීමටත් එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිමට පන්දුවාර 73කින් ලකුණු 270 ඉලක්කයක් හඹා යෑමක අපූරු යෝජනාවක් ගෙන ආවේය. 

මෙම යෝජනාවට එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ඩන්කන් ෆ්ලෙචර් මයිකල් ඇතර්ටන්, ඇලෙක් ස්ටුවර්ට් ඇතුළු එංගලන්ත කළමනාකාරිත්වය හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් මුලදී එතරම් මනාපයක් පළ නොකළේ තණතිල්ලේ පළමු දිනයේ පන්දු යවන්නන්ට සහායක් පල කළ නිසාත් දින තුනක් තිස්සේ ආවරණවලින් වැසී තිබූ නිසා තණතිල්ලේ  හැසිරීම ගැන තිබූ අවිනිශ්චිත ස්වභාවය නිසාය.

එංගලන්ත ක්‍රීඩකයින්ගේ මතය වූයේ පස්වැනි දිනයේ කඩුල්ලේ හැසිරීම නිරීක්ෂණය කරන තෙක් කිසිදු තීරණයක් ගත නොහැකි බවයි.

ගුවනේ දී මියෙන්නට පැතූ දේදුනු දේශයේ නියමුවා

හැත්තෑව දශකයේ මැද දිනක දකුණු අප්‍රිකාවේ……

මේ අතර එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු වූ ඩැරන් ගව් තරගයේ සිව්වැනි දින සිය මිත්‍රයෙකු සමග මධුවිතකින් සප්පායම් වූ බැවින් සිටියේ තරමක බීමත් බවකින්ය. ඔහුගේ පන්දු යැවීම ඒ නිසාම එතරම් උසස් මට්ටමක තිබුණේ නැත.

මේ කාරණාවෙන් උපරිම ප්‍රයෝජන ගත් පස්වැනි දිනයේ උදෑසන පිටියට එක්වූ ලාන්ස් ක්ලූස්නර් සහ ෂෝන් පොලොක් දෙදෙනා යුහුසුලුව ලකුණු තත්වය ඉහළ දමමින් ක්‍රීඩා කළේ තණතීරුවේ කිසිදු ආන්තරාවක් නොමැති බව සියල්ලන්ටම පෙන්නුම් කරමිනි.

සෙන්චූරියන් තණතීරුවේ කිසිදු අන්තරායක් නොමැති බැව් පෙන්නුම් කළ එංගලන්ත කළමනාකාරිත්වය දකුණු අප්‍රිකානු නායකයාගෙන් විමසන්නේ ඔවුන් තවමත් ඒ යෝජනාවට කැමැත්තක් දක්වන්නේ නම් තමන් ද ඊට එකඟ බවයි. 

ඒ අනුව යමින් හැන්සි ක්‍රෝන්යේ දකුණු අප්‍රිකානු ඉනිම නිමා කරන්නේ ලකුණු 248/8 සේ ලකුණු පුවරුව දිස්වෙද්දීය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලාන්ස් ක්ලූස්නර් නොදැවී ලකුණු 61ක් අප්‍රිකානු ඉනිමට එක් කර තිබුණි.

ගිවිසුම් ප්‍රකාරව යමින් නසාර් හුසේන් තම පළමු ඉනිම ද ක්‍රෝන්යේ සිය දෙවැනි ඉනිම ද අත්හිටවූ අතර එංගලන්ත කණ්ඩායමට අවසාන දිනයේ දී පන්දුවාර 76කින් ලකුණු 249ක ඉලක්කයක් හිමි විය.

දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ඉලක්කය හඹා යාමට පිටියට බට එංගලන්තය ලකුණු සියයේ සීමාවට ළඟ වෙද්දී සිව්වැනි කඩුල්ලත් දැවී ගිය ද තරගාවලිය පුරාම ලකුණු රැස් කිරීමේ වේගය නිසා විවේචනයට ලක් වෙමින් සිටි මයිකල් වෝන් සහ ඇලෙක් ස්ටුවර්ට්ගේ අර්ධ ශතක වලින් පන්නරය ලැබූ එංගලන්ත ඉනිම හැත්තෑ පස්වැනි පන්දුවාරයේ දී කඩුලු දෙකක් අතැතිව ජයග්‍රාහී සීමාව පසු කර ගියේය. ඇලෙක් ස්‍ටුවර්ට් ලකුණු 73කුත් තරගයේ වීරයා බවට පත් මයිකල් වෝන් අගනා ලකුණු 69කුත් එංගලන්ත ඉනිමට එක්කර තිබුණී.

අජීවි ටෙස්ට් තරගයකට ප්‍රාණවත් බවක් එක්කළ හැන්සි ක්‍රෝන්යේ ලොව පුරා ක්‍රිකට්ලෝලීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්වූ අතර නසාර් හුසේන් පවා ඉමහත් ඉහළින් ක්‍රෝන්යේව වර්ණනා කළේය.

මාස ගණනක ඇවෑමෙන් ලොවම කලඹවමින් තරග පාවාදීම් චෝදනා එල්ල වුන විට ක්‍රෝන්යේ පාපොච්චාරණයක් කරමින් පැවසූයේ මෙම තරගය ධනාත්මක විසඳුමක් කරා ගෙන යාමට බුකී කරුවෙකු විශාල මුදලක් තමාට ගෙවු බවයි. 

තරගයේ සිව්වැනි දිනයේ සවස් යාමයේ තමා හමු වූ බුකීකරුවා තරගය විසඳුමක් කරාගෙන යාමට නසාර් හුසේන් පෙළඹීම වීමට විශාල මුදලක් සහ ලෙදර් ජැකට්ටුවක් ලබා දුන් බව ද සඳහන් කළේය. නසාර් හුසේන් ගිවිසුමට එකඟ වූ වහාම “The game is on” යනුවෙන් බුකීකරුවාට කෙටි පණිවිඩයක් යැවූ බව ද ඔහු පිළිගත්තේය.

පන්දු යැවීමට හෝ පන්දුව විසිකිරීමට නොහැකි ක්‍රිකට් ක්‍රීඩකයා

ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් සිදුවීම් විසඳාගත නොහැකි….

තරග පාවාදීම් සිද්ධිය සැලවීමත් සමඟ අදහස් දැක්වූ එදා තරගයට සම්බන්ධ වූ එංගලන්ත ක්‍රීඩකයින් තමන් සහභාගි වූ අපකීර්තිමත්ම ටෙස්ට් තරගය මෙය බැව් ප්‍රකාශ කළේය.

“දකුණු අප්‍රිකානුවන් එවෙලේම ඉනිම අත්හිටවූ ආකාරයත් පුදුම සහගතයි. ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව හඹා යෑමට පැමිණි අපේ කණ්ඩායමේ කඩුළු කිහිපයක් ඉතා ඉක්මනින් බිඳ වැටුණා. එවෙලේ අපි හිතුවා මේ හඹායෑම අපිට කරන්න අමාරුයි කියා. හරියටම ඒ අවස්ථාවේ හැන්සි එතරම් අත්දැකීම් නැති පීටර් ස්ට්‍රයිඩෝම් පන්දු යැවීමට කැඳවූවා. ඔහුගේ පන්දු යැවීම හොඳ තත්වයක තිබුණේ නැහැ. ඇලෙක් ස්ටුවර්ට් මෙන්ම මයිකල් වෝන් ඔහුගේ පන්දු ඉදිරියේ හතරේ පහර කිහිපයක් ලබා ගත්තා. එවෙලේ නම් මට හිතුණා මෙතන මොකක් නමුත් අමුතු දෙයක් සිදු වෙනවා කියා. කතා දෙකක් නැහැ. මා ලබා ගත් බාලම ටෙස්ට් ජයග්‍රහණය මෙයයි” 

එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක මයිකල් ඇතර්ටන් පසුව ප්‍රකාශ කළේය.

තවද ටෙස්ට් තරගයක් සඳහා අපූර්ව අදහසක් එක්කළ විශිෂ්ට ගණයේ නායකයෙකු ඉතිහාසයේ බිහි වූ අපකීර්තිමත්ම නායකයා සහ ක්‍රීඩකයා ලෙස ලේබලය ගසා ගන්නේ අසීමාන්තිකව මුදලට ගිජු වූ නිසා බැව් හැන්සි ක්‍රෝන්යේගේ සමකාලීනයෝ පවසති.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<