ලෝක කුසලාන සිහිනය බොඳ කළ ස්ත්‍රී දූෂණ චෝදනාව

1167
මකායා න්ටිනි, ඔහුගේ පෙම්වතිය සහ නීතිඥයා සමඟින් උසාවිය කරා ගමන් කරන අයුරු ©AFP

1999 වසරේ ලෝක කුසලානයට නම් කල දකුණු අප්‍රිකානු සංචිතයෙන් අවසාන මොහොතේ මකායා න්ටිනි ඉවත් කර ගැනීමට එරට බලධාරීන් ක්‍රියා කළා. ඔහුට එල්ල වූයේ විසි දෙහැවිරිදි කළු ජාතික තරුණියක දූෂණයට ලක් කිරීමේ චෝදනාවක්.

“නැහැ නැහැ. මම නෙවෙයි උඹයි යන්න ඉන්නේ” – නෑසූ කතාවක්

ශ්‍රී ලංකාව මුල්ම වතාවට ලෝක කුසලානයකට ක්‍රීඩා කළේ 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලානයටය…

අයහපත් කාලගුණයක් තිබූ දිනක තමාගේ අසල්වැසි තරුණියකට තමාගේ කාරයෙන් ඇරලීමට න්ටිනි ඉදිරිපත් වූ අතර ඊස්ට් ලන්ඩන් නගරයේ බෆලෝ පාක් ක්‍රීඩාංගණයේ වැසිකිළිය තුළ දී ඇයව අතවරයට ලක් කළ බවට න්ටිනිට චෝදනා එල්ල විය.

“ඔහුට විරුද්ධව කෙරෙන චෝදනා ඉතාම බරපතළ බවයි පේනෙන්නේ. නමුත් ඇය කරන මේ චෝදනා බොරුවක් නම් ඇය ඉතාම විශිෂ්ට ඝනයේ නිළියක් වීමටයි සුදුසු”

චෝදනාව විභාගයට ගත් විනිසුරුවන්ගේ අදහස විය. අවසානයේ සියලු සාක්ෂි ඔහුට එරෙහිව ගිය බැවින් මකායා න්ටිනි වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශ කෙරුණි.

තමාට විරුද්ධව තීරණය දැනුම් දුන් වහාම න්ටිනි උසාවිය තුළ දී ම හඬා වැටෙන්නට පටන්ගත්තේය.

අපි දිගටම න්ටිනි සමඟ සිටිනවා. අපි ඔහුව විශ්වාස කරනවා. නමුත් ඔහුව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කරගන්නවා හැරෙන්නට වෙනත් විසඳුමක් අපට පෙනෙන්නේ නැහැ. අප වැටී සිටින තත්ත්වය බොහෝ අය තේරුම් ගනීවි යැයි මා විශ්වාස කරනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධානී ආචාර්ය අලී බැකර් කීවේය.

න්ටිනි වෙනුවට ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වූයේ ඇලන් ඩෝසන්ය. ඩෝසන් සුදු ජාතිකයෙකි. කළු ජාතික ක්‍රීඩකයෙකු වෙනුවට සුදු ජාතිකයෙකු ලෝක කුසලානයට ගෙන යෑම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව තුළින්ම හඬක් මතු විය. එංගලන්තය බලා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිටියේ සුදු ජාතිකයෙකු නොවන එකම ක්‍රීඩකයෙකු පමණි.

එවන් චෝදනාවකට ලක්වූ අයෙකුට නැවත ජාත්‍යන්තර පිටියට පැමිණ දස්කම් දැක්වීමට නොහැකිවේ යැයි බොහෝ දෙනාගේ මතය විය. නමුත් 1999 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක සිය චෝදනාවලින් නිදහස්වන්නට න්ටිනිට හැකියාව ලැබුණි. දකුණු අප්‍රිකාවේ කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් එම තීරණයට විරුද්ධව විශාල හඬක් නැගූහ. වැඩි කාලයක් යෑමට මත්තෙන් න්ටිනි නැවතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකාව නියෝජනය කළ මුල්ම කළු ජාතික අප්‍රිකානු සම්භාව්‍යක් ඇති ක්‍රීඩකයා වන්නේ මකායා න්ටිනිය. ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 101කට ක්‍රීඩා කර කඩුලු 390ක් ද, එක්දින තරග 173ක දී කඩුලු 266ක් ද දවාගෙන තිබෙනවා. විස්සයි විස්ස තරග 10කට ද දකුණු අප්‍රිකාව නියෝජනය කර තිබෙනවා.

ලෝක කුසලාන අවසන් සටනේ ශූරයින් මෙන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමෙන් පසු මේ ගෙවී යන්නේ 45 වැනි වසරය. එතෙක්…

සිහිනයක් බඳු ආරම්භය බොඳ කළ විනිසුරු තීරණය

හැත්තෑව දශකයේ මුල සිටම දකුණු අප්‍රිකානුවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් ප්‍රදේශයක්ව තිබුණි. මේ කාරණාව නිසාම දකුණු අප්‍රිකාවෙන් බිහිවූ බොහෝමයක් සුවිශේෂී ක්‍රීඩකයින්ට තම දස්කම් ලෝකයාට පෙන්වීමට හැකියාවක් ලැබුණේ නැත.

වසර ගණනාවක ක්‍රිකට් තහනමකින් පසුව දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලානයකට ක්‍රීඩා කළේ 1992 වසරේ දී ය. එලෙස ලෝක කුසලානයට මුල්ම වරට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන්ට ප්‍රථම තරඟය ලෙස මුහුණ දීමට තිබුණේ සත්කාරක ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිවය. තරගය පැවැත්වීමට තිබුණේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

තරගයට පෙරදා රාත්‍රියේ දකුණු අප්‍රිකානුවන් ඕස්ට්‍රේලියානු තරගය වෙනුවෙන් තම පෙර සැලසුම් සූදානම් කරමින් සිටියහ. මෙවෙලේ ඔවුන්ගේ කඳවුරට අමුත්තෙකු පැමිණියේය. මෙලෙස පැමිණි අමුත්තා ඕස්ට්‍රේලියානු ක්‍රීඩාවට නම් අමුත්තෙකු නොවේ. ඇලන් ජෝන්ස් නම් ඔහු වොලබීස් යනුවෙන් කවුරුත් දන්නා ඕස්ට්‍රේලියානු රගර් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවාය.

දකුණු අප්‍රිකානුවන් දිරිමත් කරමින් කතා කළ ජෝන්ස් දේදුනු දේශයෙන් පැමිණි ඇත්තන්ට අපූරු උපදෙසක් ලබා දුන්නේය.

“හෙට තරගයේ ආරම්භයට පෙර යම් කිසි නපුරක් සිදු විය හැකි බවට මට හැඟී යනවා. එයට සූදානමින් සිටින්න.”

සම සත්කාරකත්වය දැරූ ඕස්ට්‍රේලියානුවන් මෙම තරගයට පැමිණියේ නවසීලන්තය අතින් නොසිතූ පරාජයකට ලක්වෙමිනි. ඒ හේතුවෙන් යම් කිසි පීඩනයක් ඕස්ට්‍රේලියානුවන්ට නොතිබුණා නොවේ.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට තමන්ට බාර ගත්තේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජෙෆ් මාෂ් සහ ඩේවිඩ් බූන් ඉනිම ආරම්භ කිරීමට පැමිණ සිටියහ.ඔ

සුදු අකුණු සැරය නම් විරුදාව ලත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇලන් ඩොනල්ඩ් ලෝක කුසලානය දකුණු අප්‍රිකානුවෙකු යවන මුල්ම පන්දුව යැවීමට සූදානමින් සිටියේය.

ඩොනල්ඩ් ඒ දිනවල ඉතාම වේගයෙන් පන්දු යවන්නෙකු ලෙස නමක් දරා සිටියේය. ඩොනල්ඩ්ම පවසන පරිදි ඔහු සිටියේ හොඳම පන්දු යැවීමේ රිද්මයකය. ඩොනල්ඩ් එල්ල කළ තරගයේ මුල්ම පන්දුව දකුණත් පිතිකරු මාෂ්ගෙන් පිටතට දෝලනය වූ පන්දුවකි. මාෂ් පන්දුව සොයා පිත්ත යොමු කළ ද එය සාර්ථක වූයේ නැත. මාෂ්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ගිය උඩපන්දුව දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා ඩේව් රිචර්ඩ්සන් සුරකිව රැකගත්තේය.

එය දකුණු අප්‍රිකානුවන්ට සිහිනයක් බඳු ලෝක කුසලාන ආරම්භයකි.

සිඩ්නි ක්‍රීඩාංගණයේ දී සිටි බොහෝ දෙනකුට පන්දුව පිත්තේ වැදුණු ශබ්ද හොඳින්ම ඇසුණේය. දකුණු අප්‍රිකානුවන් මහ හඬ නගමින් මාෂ්ගේ දැවී යාම සමරද්දී නවසීලන්ත ජාතික විනිසුරුවරයා බ්‍රයන් ඔල්ඩ්‍රිච්, ඕස්ට්‍රේලියානුවා නොදැවුණ පිතිකරුවෙකු ලෙස සලකුණු කළේය.

සිඩ්නි ක්‍රීඩාංගණයේ විශාල රූපවාහිනි තිරමත විනිසුරුවරයාගේ ආන්දෝලනාත්මක තීරණය ප්‍රතිරූපන ලෙස පැහැදිලිවම නැවත නැවත පෙන්වනු ලැබීය. ෙ

“සමාවෙන්න. මා එය පැහැදිලිව දැක්කේ නැහැ.” බ්‍රයන් ඔල්ඩ්‍රිච් විනිසුරුවරයා පසුව ඩොනල්ඩ් හමුවේ ප්‍රකාශ කළේය.

විනිසුරු තීරණ කෙසේ වුවත් දකුණු අප්‍රිකානුවන් ඕස්ට්‍රේලියානුවන් ලබා දුන් ලකුණු 171ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යන්නට සමත් වුනේය. ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩා වැටීමට මූලික හේතුවක් බවට පත්වූ ඇලන් ඩොනල්ඩ් ලකුණු 34කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.

තරගයේ කෙටි ලකුණු පුවරුව.

ඕස්ට්‍රේලියාව 170/9 (49): ඩේවිඩ් බූන් 27, ස්ටීව් වෝ 27, ඇලන් ඩොනල්ඩ් 34/3

දකුණු අප්‍රිකාව 171/1 (46.5): කෙප්ලර් වෙසල්ස් 81*, පීටර් කර්ස්ටන් 49*, පීටර් ටේලර් 32/1

  • දකුණු අප්‍රිකාවට කඩුලු 09ක ජයක්.
  • තරගයේ වීරයා: කෙප්ලර් වෙසල්ස්.

තවත් නෑසූ කතාවකින් හමුවෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<