2017 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (12) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී පසුගිය වසරේ ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 29-24ක් ලෙස පරාජයට පත්කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 33-05ක් ලෙස පරාජයට පත්කරනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලය යි.

ත්‍රිත්ව විදුහලට සහ අන්තෝනිවරුන්ට සත්සාමාජික කිරුළු

22-12ක් ලෙස මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කළ ත්‍රිත්ව විද්‍යාලය, 18න් පහළ සත්සාමාජික රග්බි කුසලානය ජයග්‍රහණය කිරීමට

මොරටුව විශ්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී කැලණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 15-05ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 40-05ක් ලෙසත් පරාජයට පත්කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. අනෙක් පසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඌව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 61-00ක් ලෙස සහ අවසන් පූර්ව වටයේ දී කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 52-28ක් ලෙස පරාජයට පත්කරමිනි.

ඒ අනුව අවසන් මහා තරගයට පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් ආරම්භය ලබාගත් අතර තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම විසිනි. එහි දී එච්. ලියනගේ විසින් උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද පී. මධුසංක විසින් සාර්ථක කර ගන්නා ලදි.

අනතුරුව තරගයේ 5 වන මිනිත්තුවේ දී මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කර ගනු ලැබීය. එහි දී එස්. හේවාවසම් විසින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය අතර ප්‍රවර්තන අවස්ථාව නැවතත් සාර්ථක කර ගැනීමට මධුසංක සමත් විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගයට අවතීර්ණ වීම සඳහා මඳ වේලාවක් ගත වූ අතර ඒ අනුව පසුව ඔවුන් පිට පිට උත්සාහක දිනුම් 3 ක් වාර්තා කර ගැනීමට සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම ඉසුරු හේරත්, දෙවන උත්සාහක දිනුම නායක ඒ. කස්තුරිආරච්චි සහ තෙවන උත්සාහක දිනුම බී. ඒකනායක විසින් වාර්තා කර ගනු ලැබීය. නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථා 3න් ඉසුරු හේරත් සාර්ථක කර ගැනීමට සමත් වූයේ එක් අවස්ථාවක් පමණි.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට තරගයේ පෙරමුණ ගන්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය: පේරාදෙණිය 17 (3T 1C) – 14 (2T 2C) මොරටුව

අනතුරුව තරගයේ දෙවන අර්ධයට ද පළමු අර්ධයේ දී මෙන් ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය. එහි දී ඔවුන් පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනු ලැබුවේ නැවතත් තම කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමිනි. එම උත්සාහක දිනුම් වාර්තා කර ගනු ලැබුවේ පිළිවෙළින් බී. වීරකෝන් සහ එන්. ආරච්චි විසිනි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථා දෙකම සාර්ථක කර ගන්නට මධුසංක අසමත් විය.

පළමු අර්ධයේ දී මෙන් දෙවන අර්ධයේ දී ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම මඳ වේලාවක් ගොස් නැවතත් තරගයට අවතීර්ණ විය. මෙහි දී පළමු අර්ධයේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබූ බී. ඒකනායකගේ ක්‍රීඩා විලාශය කැපී පෙනුණු අතර ඔහු ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය.

ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් පිට පිට දෙවරක් පසුකර යමින් තම කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් 2 ක් දෙවන අර්ධය තුළ දී වාර්තා කර ගන්නට බී. ඒකනායක සමත් වූයේ තරගයේ ඔහුගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කරමිනි.

එමෙන්ම ඊට අමතරව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ එස්. අධිකාරී, රජීව් කාරනායක සහ නායක කස්තුරිආරච්චි ද තරගය පුරාවට ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට සමත් විය. එස්. වීරකෝන් තරගාවලිය ආරම්භයේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ අතර ඔහු අවසන් තරගයේ දී හැර අනෙක් සෑම තරගයක දීම තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කර ගැනීමට සමත් විය.

තරගයේ අවසානයට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට අවස්ථාවන් දෙකක් ලැබුණත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් සම්පූර්ණ කාලය අවසානයේ උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් මොරටුව විශ්ව විද්‍යාලය පරාජයට පත්කරමින් 2017 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: පේරාදෙණිය 29 (5T 2C) – 24 (4T 2C) මොරටුව

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට