උපන්බිමේ ලෝක කුසලාන සිහින බොඳ කළ ප්‍රහාරකයා

ලෝක කුසලානයේ නෑසූ කතා (24)

15318
©Getty Images

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානුවන් පරාජය වූයේ ඉතාම අවාසනාවන්ත අයුරිනි. 

තරගාවලිය පුරා ඉදිරියෙන්ම සිටි දකුණු අප්‍රිකානුවන් අවසන් පූර්ව තරගයෙන් ඉවතට විසිවන්නේ ඉතාම අසාධාරණ වැහි නීතිය නිසාය. මේ අනපේක්ෂිත පරාජය නිසා දේදුණු දේශයේ බොහෝ ක්‍රිකට්ලෝලීන්ගේ හදවත් කඩා වැටුණි. ඔවුන් අතර ග්‍රාන්ට් එළියට් නම්  දහතුන් හැවිරිදි දරුවෙකු ද විය. ඔහු මෙම අවසන් පූර්ව තරගය රූපවාහිනිය ඔස්සේ නැරඹීමට ගියේ පාසලෙන් නියමිත වේලාවට කලින් පැන ගනිමිනි. මෙම දරුවාගේ මෙන්ම සෙසු දකුණු අප්‍රිකානුවන්ගේත් සිහිනය සැබෑ කිරීමට තරම් සිඩ්නි අහස එදා කාරුණික වූයේ නැත.

එයින් වසර විසිතුනකට පසු මෙම ග්‍රාන්ට් එළියට් නම් දරුවා  දකුණු අප්‍රිකානුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් ලෝක කුසලාන ගමනට තිත තබන්නට සමත් වූයේ වෙනත් රටක් නියෝජනය කරමිනි. 

www.pakistantoday.com

1979 වසරේ මාර්තු 21 වෙනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර දී උපත ලද ග්‍රාන්ට්ගේ පියා ශල්‍ය සැත්කම් පිළිබඳ වෛද්‍යවරයෙකි.

1996/97 තරගවාරයේ ට්‍රාන්ස්වාල් දෙවන පෙළ කණ්ඩායමකට ක්‍රීඩා කරමින් පළමුපෙළ තරග වරම් දිනූ ග්‍රාන්ට් එළියට්ගේ ක්‍රිකට් ජීවිතය වෙනස් වන්නේ කිසිවෙකු නොසිතු පරිද්දෙනි. 

එවකට එළියට්ගේ පළමු පෙළ කණ්ඩායමේ නායකයා වූයේ හිටපු නවසීලන්ත නායක කෙන් රදර්ෆර්ඩ්ය. රදර්ෆර්ඩ්ගෙන් එළියට්ට උපදෙස් ලැබෙන්නේ හැකි නම් දකුණු අප්‍රිකාව හැරදා ගොස් වෙනත් රටකට ක්‍රීඩා කිරීමට උත්සාහ කරන ලෙසයි. ඒ අනුව 2001 වසරේ වාසනාව සොයා එළියට් නවසීලන්තය බලා පිටත් විය. ඉන් වසර හතක ඇවෑමෙන් නවසීලන්ත වරම් දිනා ගන්නට තරම් එළියට් වාසනාවන්ත විය.

2015 ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්ත සංචිතය තෝරන අවස්ථාවේ ග්‍රාන්ට් එළියට්ගේ නම අහලකින්වත් තිබුණේ නැත. අවසාන මොහොතේ ජිමී නීෂම්ට ඇතිවූ ආබාධ තත්වයක් නිසා නවසීලන්ත කණ්ඩායම හා එක්වන්නට එළියට්ට වාසනාව ලැබුණි. බොහෝ දෙනෙකු එළියට්ගේ තෝරාගැනීම ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. කිසිවෙකු නොසිතූ පරිද්දෙන් 2015 ලෝක කුසලානයේ නවසීලන්ත වීරයා බවට පත්වන්නට එළියට්ට අවස්ථාව ලැබුණි.

ක්‍රිකට් ගහන්න මට නිවාඩු ඕනෑ

කයිල් මැකලන් අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කළ දඟපන්දු යවන්නෙකි. 2007 ලෝක කුසලානයේ දී මැකලන් අමුතුම ඉරණමකට මුහුණ දුන්නේය.

ග්‍රාන්ට් එළියට් එක රැයින් නවසීලන්ත වීරයා බවට පත්වන්නේ දකුණු අප්‍රිකාව සමඟ ඊඩන් පාක් පිටියේ පැවති අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය අනපේක්ෂිත ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඉනිම නිසාවෙනි. 

වර්ෂාවෙන් බාධා ඇතිවූ මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තයට පන්දුවාර 43ක් තුළ ලකුණු 298ක් රැස් කිරීමට තිබුණි. ඉතා තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරයෙන් ලකුණු 12ක් ලබා ගැනීමට නවසීලන්තයට සිදු විය. ඒ වන විට කඩුල්ලේ රැඳී සිටියේ ඩැනියෙල් විටෝරි සමඟින් ග්‍රාන්ට් එළියට්ය. නවසීලන්ත ඉනිමේ ඩේල් ස්ටේන් යැවූ එම පන්දුවාරයේ අවසන් පන්දු දෙකට ලකුණු පහක් ලබාගත හැකි වුවහොත් නවසීලන්තය අවසන් මහා තරගයේය. 

ස්ටේන් යැවූ පස්වැනි පන්දුව ඉහළින් හතරේ සීමාවෙන් ඔබ්බට යවන්නට එළියට් සමත් විය. එළියට්ගේ එම පහර නිසාවෙන් එතෙක් පැවති නවසීලන්තයට තිබූ ලෝක කුසලාන අර්ධ අවසාන තරග ශාපය බිඳී ගියේය.

https://www.cricketworldcup.com

එළියට්ගේ එම පහර හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ගේ ලෝක කුසලාන සිහිනය නැවත වතාවක් බිඳී ගියේය. අවසන් පන්දුවාරය යැවූ ඩේල් ස්ටේන් මහත් සිත් වේදනාවකින් බිම වැතිර සිටිය දී එළියට් ඔහු වෙත ගොස් අස්වස්සනු ලැබීය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ දුටු ඉතා ඉහල සංවේදී,  ක්‍රීඩාශීලී අවස්ථාවක් විය. 

“මගේ මිතුරන් රාශියක් දකුණු අප්‍රිකාවේ වෙසෙනවා. දකුණු අප්‍රිකාව මගේ ඉතිහාසයේ කොටසක්. ඔවුන් ගැන මට කනගාටුවක් ඇති වුනා. නමුත් මේ ජයග්‍රහණය ගැන මට සතුටුයි. මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට මගෙන් විශාල දායකත්වයක් ලැබීම ගැන තවත් සන්තෝසයි.”

තරගයෙන් අනතුරුව එසේ පැවසූව ද එළියට්ට තවත් වටිනා දෙයක් අහිමි වී තිබුණි. දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර අවසන් පූර්ව තරගය පැවති 2015 මාර්තු 24 වැනිදාට දින තුනකට පසු ග්‍රාන්ට්ගේ සොහොයුරියගේ කේට් එළියට්ගේ විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් ලෝක කුසලාන අවසාන මහා තරගය මාර්තු 29 වැනිදාට යෙදී තිබූ බැවින් තම සොහොයුරියගේ මංගලෝත්සවයට සහභාගී වන්නට එළියට්ට ඉඩක් ලැබුණේ නැත.

ග්‍රාන්ට් 2015 ලෝක කුසලාන කණ්ඩායම තෝරාගැනීමට පෙර අවසන් වරට ජාත්‍යන්තර තරගයකට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළේ ඊට මාස දාහතරට පෙරාතුවය. එබැවින් කේට්ගේ විවාහය ගැන දින වකවානු නියම කර ගැනීම පිළිබඳව කිසිදු ගැටලුවක් තිබුණේ නැත.

“පවුලේ උදවියට තේරුම් ගන්න පුළුවන් මා පත්ව ඉන්න තත්වය. මා ඔවුන් වෙනුවෙන් විශේෂ යමක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

එසේ කී එළියට් අවසන් මහා තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 82කින් ලකුණු 83ක් රැස් කරන්නට සමත් විය. නමුත් එළියට්ගේ දස්කම් ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණය ආපසු හරවන්නට සමත් වූයේ නැත. 

https://www.cricketworldcup.com

නමුත් මෙම අවසන් තරගයේ ඉනිම අතරතුර ග්‍රාන්ට් එළියට්ට නිරන්තරයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ වාග් ප්‍රහාරයට ලක්වන්නට සිදුව තිබුණි. විශේෂයෙන්ම එළියට් දැවී ගිය අවස්ථාවේ ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා බ්‍රැඩ් හැඩින් එළියට්ට එරෙහිව යමක් පවසනු දැකගත හැකි විය. බොහෝමයක් මධ්‍යස්ථ ක්‍රිකට්ලෝලීන් ඕස්ට්‍රේලියානුවන්ගේ ක්‍රීඩාශීලීත්වය ගැන ප්‍රශ්න කිරීමට පටන්ගත්හ.

ඔවුන් අපහාස කළේ හොඳම ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ට. ලෝකයේ තිබෙන ඉහළම තරගාවලිය දිනා ගත්තත් ඔවුන්ට අනෙක් කණ්ඩායම්වල ගෞරවය දිනා ගැනීමට නොහැකි වෙලා තිබෙන්නේ ඔවුන්ගේ මේ නින්දා සහගත හැසිරීම නිසායි, යනුවෙන් ලෝකය පුරා ක්‍රිකට්ලෝලීන් ඕස්ට්‍රේලියානුවන් හෙළා දකිමින් සමාජ ජාල වෙබ් අඩවිවල තම අදහස් ප්‍රකාශ කළහ.

“මට ඒ කිසිවක් ඇසුණේ නෑ. සමහර විට මේ සිදුවීම වෙද්දී මම එතැනට ඈතින් සිටි නිසා ද දන්නේ නෑ. ලෝක කුසලාන අවසන් මහා තරගයක් කිව්වාම හැමෝම ටිකක් උද්දාමයට පත් වෙලා ඉන්නේ.” ඕස්ට්‍රේලියානු නායකයා මයිකල් ක්ලාක් තම කණ්ඩායමේ නොමනා හැසිරීම යම් තාක් දුරකට සාධාරණීකරණය කරමින් පැවසුවේය.

තමාගේ සහෝදරියගේ විවාහ උත්සවයට නොගිය ග්‍රාන්ට් එළියට් කේට්ගේ මධුසමය වෙනුවෙන් සියලු වියහියදම් දරන්නට එකඟ වූ බව ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<