තවත් වාර්තාවක් බිඳ වැටේ; පිහිනුම්වලින් නව පදක්කම් 6ක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - පිහිනුම්

90
South Asian Games Swimming Day 04

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ පිහිනුම් ඉසව්වන් 8ක් ක්‍රියාත්මක විය. 

එහි දී ශ්‍රී ලංකා පදක්කම් සටහනට රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් එකතු කරන්නට ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය. ඊට අමතරව තවත් ශ්‍රී ලංකා වාර්තාවක් ද අද දිනයේ දී බිඳ වැටුණි.

රන් නැතත් ශ්‍රී ලංකා වාර්තාවන් දෙකක් බිඳ වැටුණු දිනයක්

13 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය දා නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ වූ අතර එහි පිහිනුම්..

මීටර 400 කාන්තා නිදහස් ආර තරග ඉසව්ව සඳහා සහභාගී වූ රමුදි සමරකෝන් අද දිනයේ දී පිහිනුම් ඉසව්වලින් ශ්‍රී ලංකාවට ලැබුණු පළමු පදක්කම හිමි කර දුන්නේ මිනිත්තු 4:41.91කින් ඇයගේ ඉසව්ව නිමා කරමිනි. එහි දී රමුදි ලෝකඩ පදක්කමක් දිනා ගන්නා විට, එහි පිරිමි ඉසව්ව සඳහා සහභාගී වූ දිලංක ශෙහාන් හට සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

අද දිනයේ දී පිහිනුම් ඉසව්වලින් ශ්‍රී ලංකාවට ලැබුණු පදක්කම්වලට අමතරව ශ්‍රී ලාංකීය පිහිනුම් වාර්තාවන් අතර තිබෙන තවත් වාර්තාවක් බිඳ දමමින් මීටර 50 පසුපස ආර ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට අකලංක පීරිස් සමත් විය. එහි දී තත්පර 24.95කින් සිය තරග ඉසව්ව නිමා කළ පීරිස් රිදී පදක්කමක් දිනා ගන්නා ලදි. එම ඉසව්වම තත්පර 25.75කින් අවසන් කළ ශෙවින්ද ද සිල්වා එහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තේය.

එහි කාන්තා ඉසව්ව සඳහා තරග කළ ගංගා සෙනෙවිරත්න සහ අකිත්මි වසල තන්ත්‍රී හට මේ ඉසව්වේ කිසිදු පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව ලැබුණේ නැත. 

මීටර 200 පිරිමි සමනල ආර ඉසව්ව සඳහා තරග කළ සඳෙව් සෙනෙවිරත්න මිනිත්තු 2:6.29ක දක්ෂතාවයක් පෙන්වමින් එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දින දෙන ලදි. එහි කාන්තා ඉසව්ව නියෝජනය කළ ඔනෙලි යහම්පත් හට පළමු ස්ථානයන් තුන අතර තරගය අවසන් කිරීමට හැකියාව ලැබුනේ නොමැත.

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රබල රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ මීටර 200 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ දී රිදී පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු විය. එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කළ මැතිව් අබේසිංහ, කවින්ද්‍ර නුගවෙල, ස්ටෙපාන් පෙරේරා සහ දිලංක ශෙහාන් මිනිත්තු 7:42.48ක දක්ෂතාවයක් වාර්තා කළේය.

මැතිව් අබේසිංහගෙන් රන් පදක්කම් තුනක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග ඉසව් අද (5) ආරම්භ වූ අතර එහි දී පිහිනුම් ක්‍රීඩාවෙන්..

එම ඉසව්වේම කාන්තා අංශයේ ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකාවන් වන භක්ති සමරකෝන්, සන්දු සවින්දි, ගංගා සෙනෙවිරත්න, රමුදි සමරකෝන් මිනිත්තු 8:54.91ක කාලයක් තුල නිමා කළේය. 

පසුගිය 5 වැනිදා ආරම්භ වූ පිහිනුම් ඉසව්වන් හෙට (09) දිනයෙන් අවසන් වන අතර හෙට දිනයේ දී ද ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් පිටියට පැමිණීමට ඇත.

2016 දී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම් දක්වන්නට සමත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පිහිනුම් කණ්ඩායමයි. ඔවුන් එහි දී රන් පදක්කම් 12ක්, ලෝකඩ පදක්කම් 11ක්, රිදී පදක්කම් 16ක් ඇතුළු සමස්ත පදක්කම් 39ක් දිනා ගන්නා ලදි. 

දින තුනක් පුරාවට පැවති මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වලින් මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 15ක් සමඟින් මුළු පදක්කම් 29ක් දිනාගෙන ඇත.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 36ක්, රිදී පදක්කම් 71ක් සහ ලෝකඩ පදක්කම් 94ක් සමඟින් සමස්ත පදක්කම් 201ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<