සදීර සමරවික්‍රම වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට

1026
SLC Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරන සුපිරි 8 වටයේ සිව්දින තරග 4ක් අද (15) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය. එහිදී තවත් දින දෙකක් ඉතිරිව තිබියදීම CCC කණ්ඩායම පරදා පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට SSC කණ්ඩායම සමත් විය. එමෙන්ම සදීර සමරවික්‍රම මෙම තරගාවලිය පුරාවට පිත්තෙන් දැක්වූ අඛණ්ඩ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නටද ඔහු සමත් විය.

වනිඳුගේ දඟ පන්දුව ප්‍රබල SSC පිළ මවිත කරයි

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින්ට තම නිසඟ හැකියාවන් විදහා දැක්විය හැකි තෝතැන්නක් වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරග 4ක් අද (14) ආරම්භ විය. එහිදී මේ වනවිට තරග තුන බැගින් ජයගෙන ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන හලාවත මේරියන්ස් සහ SSC කණ්ඩායම් දෙක ප්‍රතිවාදී පන්දු යැවීම හමුවේ යම් තරමක පීඩනයකට ලක්වුනු අතර වනිඳු හසරංග, දුලාංජන මෙන්ඩිස් සහ නිලංක ප්‍රේමරත්න අද කඩුලු 5 බැගින් බිඳ හෙලූ ක්‍රීඩකයින් තිදෙනා බවට පත්විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට නැගීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ප්‍රබල අවස්ථාවක් උදා වී ඇති මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යූනියන් පිළ අද ලකුණු 168ට සීමා විය. ඒ අනුව ලකුණු 50ක ඉදිරියක් සමගින් තම දෙවැනි ඉනිම ආරම්භ කල කෝල්ට්ස් පිතිකරුවන් දෙවැනි දිනය නිමා වනවිට කඩුලු 3කට ලකුණු 248ක් රැස් කිරීමට සමත් විය. කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කල දකුණත් පිතිකරු සදීර සමරවික්‍රම අවස්ථා 16කදීම පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යවමින් ලකුණු 93ක් රැස් කළේය.

පෞද්ගලිකව අද තම ශතකය අහිමිව ගියද ඔහු මෙම තරගාවලිය පුරාවට පිත්තෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසාම ලකුණු 1016ක් ලබමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ඔහු සමත් විය. තරග 10ක් තුලදී අර්ධ ශතක 6ක් සහ ශතක 3ක් රැස් කරගෙන ඇති ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 59.76ක් තරම් ඉහළ අගයක් ගනියි. මේ වනවිට තවත් කඩුලු 7ක් අතැතිව ලකුණු 298ක් ඉදිරියෙන් සිටින කෝල්ට්ස් කණ්ඩායමට මෙම තරගයේ ජය මාවත මේ වනවිටත් විවර වී හමාරය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 52.2): අකිල ධනංජය 52*, සදීර සමරවික්‍රම 52, ප්‍රියමාල් පෙරේරා 47, පසිඳු ලක්ශංක 23, දුලාංජන මෙන්ඩිස් 5/71, රමිත් රඹුල්වැල්ල 4/75.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 45.2): සිතාර ගිම්හාන් 43, කිත්රුවන් විතානගේ 26, චරිත් ජයම්පති 24, ඉශාන් ජයරත්න 5/40, අලි කාන් 2/55, අකිල ධනංජය 2/64.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 248 (පන්දුවාර 77): සදීර සමරවික්‍රම 93, ඇන්ජෙලෝ ජයසිංහ 76*, විශාද් රන්දික 60*, ප්‍රමෝද් මධුශාන් 2/56.




සිංහල ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

දෙපිළෙන්ම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වුනු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් SSC පිළ වනිඳු හසරංගගේ සුවිශේෂී පන්දු යැවීම නිසා ලකුණු 147කට සීමාවුනු අතර එය හඹා ගිය CCC පළමු ඉනිම ලකුණු 101කට සීමාවිය. ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පිවිසි SSC පිතිකරුවන් ලකුණු 155ක් රැස් කරමින් තරග ජයග්‍රහණය සඳහා ලකුණු 202ක ඉලක්කයක් CCC පිළට ලබා දුන්හ. එය හඹා ගිය කොළඹ ක්‍රිකට් සමාජය ලකුණු 117කට දැවී ගියේ ලකුණු 84ක ජයග්‍රහණයක් ප්‍රතිවාදීන්ට හිමිකර දෙමිනි. ඒ අනුව සුපිරි 8 වටයේ තමන් සහභාගි වුනු තරග 4ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට SSC කණ්ඩායම සමත් විය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 47): කවිඳු කුලසේකර 43, කෞෂාල් සිල්වා 47, මිනෝද් භානුක 24, වනිඳු හසරංග 5/15, රනිත ලියනාරච්චි 2/35.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 101 (පන්දුවාර 25.2): රොෂාන් අනුරුද්ධ 27, ඩිල්ශාන් අබේසිංහ 3/44, සචිත්‍ර සේනානායක 3/15.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 40.4): කෞෂාල් සිල්වා 43, රමේෂ් මෙන්ඩිස් 29, අශාන් ප්‍රියන්ජන් 4/14, වනිඳු හසරංග 3/49.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 33.4): ලහිරු මධුශංක 35*, ලසිත් අබේරත්න 27, සචිත්‍ර සේනානායක 4/30, ජෙෆ්රි වැන්ඩර්සේ 4/46.



හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයේ ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට තිබූ අවදානම් තත්වය සෑහෙන දුරට මගහරවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වීමට මේ වනවිට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. අද දිනයේ රාගම ප්‍රථම ඉනිම ලකුණු 276කට සීමා කරන්නට අරෝෂ් ජනෝද තම දකුණත් වේග පන්දුවෙන් බිඳ හෙලූ කඩුලු 5 හලාවත පිළට අතිශය වැදගත් විය. ඒ අතරතුරේදී ආරම්භක පිතිකරු සමින්ද ප්‍රනාන්දු හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 93ක් රැස්කර තිබුණි. මේ වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන හලාවත පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 116ක් ලබාගෙන සිටින්නේ රාගම ක්‍රිකට් සමාජයට වඩා ලකුණු 8ක ඉදිරියක් තහවුරු කර ගනිමිනි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 41.4): මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 5/41, සහන් නානායක්කාර 2/18.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 85): සමින්ද ප්‍රනාන්දු 93, කොෂාන් ධනුෂ්ක 50, සමීර ද සොයිසා 27, අක්ෂු ප්‍රනාන්දු 26, අරෝෂ් ජනෝද 5/45, ශෙහාන් ජයසූරිය 3/50.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 116 (පන්දුවාර 37): මහේල උඩවත්ත 42*, අශේන් සිල්වා 29, සචිත්‍ර සේරසිංහ 23*.



යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

තවමත් අවසන් ජයග්‍රාහකයෙකු පිලිබඳ නිවැරදි අනාවැකියක් කිව නොහැකි අයුරින් ගලාගෙන යන මෙම තරගයේ NCC පිළ රැස්කල ලකුණු 268ට ප්‍රතිචාර ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජය සියල්ලන්ම දැවී ලකුණු 227ක් රැස් කළහ. ඒ අනුව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය නම් මේ වනවිටත් NCC කණ්ඩායම සතුවී හමාරය. මේ වනවිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 139ක් ලබා සිටිති. ප්‍රථම ඉනිමේ අර්ධ ශතකයක් රැස්කල ඇන්ජෙලෝ පෙරේරා දෙවැනි ඉනිමේදීද මේ වනවිට නොදැවී ලකුණු 55ක් ලබා සිටියි.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 68.2): ඇන්ජෙලෝ පෙරේරා 53, තිමිර ජයසිංහ 53, චතුරංග ද සිල්වා 42, ලහිරු උදාර 35, ජෙහාන් මුබාරක් 39, යසෝධ මෙන්ඩිස් 4/65, දුශාන් විමුක්ති 3/64, ජනිත් සිල්වා 2/41.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 70.3): ලක්ෂිත මධුශාන් 54, අශාන් රන්දික 38, ඩිල්ශාන් ද සොයිසා 38, ජනිත් සිල්වා 32, නවෝද් ඉලුක්වත්ත 27, චතුරංග ද සිල්වා 4/63, සචින්ත පීරිස් 4/43.

NCC (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 139 (පන්දුවාර 33): ඇන්ජෙලෝ පෙරේරා 55*, දිනේෂ් චන්දිමාල් 41, චතුරංග ද සිල්වා 20*, දුශාන් විමුක්ති 2/39.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට