මෙරට ක්‍රීඩාවේ වගකීම හිටපු රග්බි නායකයාට

123

පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නව කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කිරීම සඳහා වූ උත්සවය අද (12) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැත්විය.

එහි දී නව රජයේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ලබා ගත් ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු වන නාමල් රාජපක්ෂ මහතා හට ලබා දීමට කටයුතු කරන ලදි.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත්පොත් තැබූ නාමල් රාජපක්ෂ මහතා පාසල් වියේ සිටම රග්බි ක්‍රීඩාවේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර එම දස්කම් නිසාවෙන් පාසල් රග්බි කණ්ඩායමේ නායකත්වය පවා ඔහු විසින් දරා තිබුණි.

පාසල් වියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් 2000 වසරේ දී වයස අවුරුදු 16න් පහළ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වූ ඔහුට පසුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායමේ නායකත්වය ද හිමි විය.

තවත් ක්‍රීඩා පුවත් 

සාර්ථක පාසල් ක්‍රීඩා දිවියකින් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම සමඟ එක්වූ ඔහු 2010 වසරේ දී එම කණ්ඩායමේ ද නායකත්වයට පත්වූ අතර 2013 වසරේ දී ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වූ ඔහු ඉතා සාර්ථකව සිය කණ්ඩායම මෙහෙය වීමට ද සමත් විය.

ඉතා සාර්ථක ක්‍රීඩා දිවියකින් අනතුරුව 2014 වසරේ දී ක්‍රීඩා පිටියට සමුදීමට තීරණය කළ ඔහු ඉන් පසුවත් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පුහුණුකරුවෙකු ලෙස සිය සේවාව ලබා දීමට කටයුතු කළ අතර කාශ්මීරය, ශ්‍රී නගර් (ඉන්දියාව) ඇතුළු විදෙස් රටවල් කිහිපයක දී ම පුහුණු කඳවුරු පැවැත්වීමට ද කටයුතු සිදු කළේය.

එමෙන්ම නිරන්තරයෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් බෙදා හැරීමට නිරන්තරයෙන්ම කටයුතු කළ එතුමා ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන්නෙකු ලෙස ද මෑත කාලයේ දී සියල්ලන් අතර කතාබහට ලක්ව තිබුණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා අවස්ථා තුනක දී තේරී පත්වීමට සමත් වූ එතුමා කැබිනට් අමාත්‍ය ධුරයකට පත්වූ මුල්ම අවස්ථාව මෙය වන අතර නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වන්නට ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<