IDM Campus පාසල් පාපන්දු සමඟ එක්වෙයි

Schools Football

286
Schools Football

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය එක්ව සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 16න් පහළ පාසල් පාපන්දු තරගාවලිය” සඳහා, ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන, IDM Campus එක්ව සිටිනවා.

වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන ජාතික මට්ටමේ ප්‍රධානතම අන්තර් පාසල් පාපන්දු තරග මාලාවක් වන මෙම තරගාවලිය දිවයිනේ බොහෝ ස්ථානවල මේ වන විටත් ආරම්භ වී අවසන්.

මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගිය බදාදා (13) කොළඹ IDM උසස් අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. එ් සඳහා IDM උසස් අධ්‍යාපන ආයතනයේ උසස් නිලධාරීන්, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ නිලධාරීන්, බස්නාහිර පළාත් පාසල්වල 16න් පහළ කණ්ඩායම් නායකයින්, ගුරුවරුන් සහ මාධ්‍යවේදීන් සහභාගි වී සිටියා.

මෙවර ජාතික මට්ටමේ තරග සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණය කරන බාලක කණ්ඩායම් 32ක් සහ බාලිකා කණ්ඩායම් 24ක් තෝරා ගැනීමට නියමිතයි. තරගාවලියේ අවසන් වටය වන ජාතික මට්ටමේ තරග ඔක්තෝබර් 1, 2 සහ 3 යන දිනවල කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් ක්‍රීඩාංගණ හතරක දී පැවැත්වීමට නියමිතයි.

ජාතික මට්ටමේ බාලක තරගාවලියේ පළමු වටයේ දී, එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වූ සමස්ත කාණ්ඩ 8කට සියලු කණ්ඩායම් වෙන් කරනු ඇත. අදාළ කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක මීළඟ වටයට සුදුසුකම් ලබනු ඇත.

එලෙසම, එක් කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් බාලිකා කණ්ඩායම් කාණ්ඩ 8කට වෙන් කරන අතර ඒ ඒ කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් මීළඟ වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

>>WATCH – සුපිරි මන්දිරයක නව හිමිකරු Messi | Football ලෝකය

මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති බණ්ඩාර ලීලාරත්න මහතා පවසා සිටියේ,

රටේ නගරවල, ගම්වල පාසල් දහසකට වැඩි ප්‍රමාණයක් අපේ සංගමයේ ලියාපදිංචි වෙලා තරගාවලියට ක්‍රීඩා කරනවා. ඉතින් මේ සඳහා විශාල මුදලක් අවශ්‍යයි. එවැනි අවස්ථාවක මෙම ආයතනය අප හා අත්වැල් බැඳ ගැනීම ආඩම්බරයට කරුණක.

ඒ නිසා, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සමඟ එක්ව අපගේ සිසුන් සඳහා මෙම තරගාවලියට අනුග්‍රහය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම සහ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය වන IDM වෙත අපගේ කෘතඥතාවය පළ කරනවා.”

මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ IDM උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී අමන්ති කුලසිංහ මහත්මිය පවසා සිටියේ,

පාසල් සිසුන්ගේ දියුණුව වෙනුවෙන් පැවැත්වෙන මෙම තරග මාලාවේ කොටස්කරුවන් වීමට ලැබීම ගැන ශ්‍රී ලංකාවේ වසර 50ක් පැරණි අධ්‍යාපන ආයතනයක් ලෙස අපි සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා.  

ශ්‍රී ලංකාව පුරා ශාඛා 30ක් පමණ සහ රටවල් රැසක අධ්‍යාපන ආයතන ඇති IDM උසස් අධ්‍යාපන ආයතනය යහපත් අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් පාසල් සිසුන් සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. සිසුන්ට ඒවායින් ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ද අපි අපේක්ෂා කරනවා, යනුවෙනුයි.

දෙස් විදෙස් පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<