තරුෂි ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ අවසන් පූර්ව වටයට

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

306

පසුගිය දා (17) කෙන්යාවේ නයිරෝබි නුවර දී ආරම්භ වූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (19) ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් තරග බිමට පිවිසියා. එහි දී තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

මීටර් 800 කාන්තා ඉසව්ව සඳහා මෙරට නියෝජනය කරමින් ශානිකා ලක්ෂානි සහ තරුෂි කරුණාරත්න සුදුසුකම් ලබා තිබුණු අතර අද දහවල් 1.20ට පමණ පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගය පැවැත්වුනා. 

ඊට සහභාගී වූ ශානිකා ලක්ෂානි මිනිත්තු 2:20.37 කාලයක් වාර්තා කරමින් 7 වැනි ස්ථානය දිනා ගත්ත ද පසුව ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉසව්වෙන් ඉවත් කිරීම (Disqualified) නිසා ඇයට 5 වැනි ස්ථානය හිමි වුනා. 

නමුත් අවසන් පූර්ව වටය සඳහා තෝරාගනු ලබන්නේ පළමු තිදෙනා පමණක් වන නිසාවෙන් ශානිකාට මීළඟ වටයට සුදුසුකම් අහිමිව ගියා. ඇයගේ පෞද්ගලික හොඳම කාලය සටහන් වන්නේ මිනිත්තු 2:07.08ක් ලෙසයි.

ඉන් පසුව සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය සඳහා සහභාගී වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:13.70 කාලයක් වාර්තා කරමින් සිව්වැන්නා ලෙස ඉසව්ව අවසන් කර නමුත් එක් ක්‍රීඩිකාවක් තරගයෙන් ඉවත් කිරීම නිසාවෙන් ඇයට තෙවැනි ස්ථානය හිමි වුනා. 

ඒ අනුව ඇය තෙවැනි ස්ථානය ලබා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා අසුන් වෙන්කරවා ගත් අතර අවසන් පූර්ව තරගය හෙට (20) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06.50ට පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 7 දෙනෙකුගෙන් යුතු සංචිතයක් සහභාගී වුනා.

බාලක:

  • ඉසුරු කෞෂල්‍ය (ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම) – 400m & 4 x 400m මිශ්‍ර සහය 
  • යූ. බී. එම්. ආර්. ඩී. බණ්ඩාර (වෑකඩ මහා විද්‍යාලය) – 4 x 400m මිශ්‍ර සහය 
  • එච්. එච්. ආර්. එස්. ජයසුන්දර (ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය) – 4 x 400m මිශ්‍ර සහය

බාලිකා:

  • කේ. ශානිකා ලක්ෂානි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) – 800m
  • තරුෂි කරුණාරත්න (වලල ඒ රත්නායක විද්‍යාලය) – 800m සහ 4 x 400m මිශ්‍ර සහය
  • බී. අයි. මේධානි ජයමාන්න (ලුම්බිණි විදුහල) – 100m සහ 200m
  • බී. සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) – 4 x 400m මිශ්‍ර සහය

ඊයේ (18) පැවති තරගවල දී මීටර් 100 ඉසව්ව නියෝජනය කළ මේධානි ජයමාන්න අවසන් පූර්ව වටය අවසානයේ දී 7 වැනි ස්ථානය දිනා ගත් අතර මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම අවසන් තරගයේ දී 7 වැනි ස්ථානය ද දිනා ගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ඉසුරු අබේවර්ධන සහභාගී වූ පිරිමි මීටර් 400 මූලික වටයේ තරග ද ඊයේ පැවති අතර එහි දී තත්පර 48.02ක කාලයක් වාර්තා කළ ඔහුට හිමි වුනේ මූලික වටයේ හත්වැනි ස්ථානයයි. ඔහුටත් අවසන් පූර්ව වටයේ ඉඩක් හිමිවුනේ නැහැ.

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (20) තරුෂි සහභාගී වන මීටර් 800 අවසන් පූර්ව වටය තරගය සවස 6:50 පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව මේධානි ජයමාන්න සහභාගී වන මීටර් 200 මූලික වටයේ තරගය ද හෙට පැවැත්වීමට නියමිත අතර ඒ ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1:30ටයි.

තරගාවලිය අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<